
නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ නියමය 2027 වසරේ අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල්දැමීමට තීරණය කර තිබේ.
මෙම මාසයේ පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, නිශ්චිතව හඳුනාගෙන ඇති ගනුදෙනු වර්ග අටෙන් ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයන් විසින් වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන් වෙත දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, අදාළ ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් පමණක් නොව අනෙකුත් පුද්ගලයන්ගෙන් ද TIN සහතිකය ලබාගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අදාළ අනිවාර්ය කිරීමේ නියමය 2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල්දැමීමට තීරණය කර තිබේ.
දීර්ඝ කරන ලද කාලසීමාව තුළ දැනටමත් TIN අංකය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට එය වඩාත් පහසු ක්‍රමවේද ඔස්සේ ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේද හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට නියමිතය.
එමෙන්ම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත ඊ-සේවා පද්ධතිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන ලෙස ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
