ලාල් විජේනායක රැවටුණා ද?

ලාල් විජේනායක ඊයේ අවසන් ගමන් ගියේය. ඔහු මිය ගිය දින ඔහු නොමැතිව පැවැත්වූ ජාතික ජන බලවේගයේ විද්වත් සමුළුවේ බොහෝ වීරයන් යළිත් ප්‍රාදූර්භූත වී ඇති බව දිස් විය. ලාල් විජේනායක වැනි කෂේරුකාවක් සහිත මිනිසුන්ට ජාතික ජන බලවේගයේ වේදිකා හුරු නොවන බව අත්දැකීම් සහ දේශපාලන පරිචයක් ඇති ලාල්ට ද තේරුම් ගියේ බොහෝ කල් ගොස් ය. ලාල් විජේනායකත් රැවටුනා නම් අන් අය ගැන කවර කතාද?

88/89 සමයේ බලය බෙදීම ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටි වාමාංශික ව්‍යාපාරයේ නායකයන් සහ සාමාජිකයන් අතිවිශාල සංඛ්‍යාවක් ඝාතනය කරන ලද අතට ලාල් විජේනායක විවිධ ස්ථානවල සැගවී ජීවිතය බේරා ගත් බව සුමනසිරි ලියනගේ ලියා තිබුණි. ලාල් ඇතුළු එදා පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයන්ට මරණ වරෙන්‍තුව ජවිපෙ විසින් ලියා තිබුණු බව නොරහසක්.

ජාතිවාදය හා අවස්ථාවාදය වැළදගෙන සිටි දේශපාලන ව්‍යාපාරයක් වූ ජවිපෙහි ප්‍රධානතම විරුද්ධවාදීන් වී සිටියේ එජාපය හා ශ්‍රීලනිපයට වඩා ල.ස.ස.ප, න.ස.ස.ප, මහජන පක්ෂය ඇතුළු ලාල් ද සාමාජිකයෙක් වූ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි.

එවැනි දරුණු ෆැසිස්ට් පන්නයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයක් දියත් කරමින් සිටි තමන්ගේද මරණ වරෙන්තුව ලියා සිටි ජවිපෙ ලාල් විජේනායක විසින් විශ්වාස කරනු ලැබීය. ඔහුගේ චරිතය ගැන ආචාර්‍ය ලියනගේ අමරකීර්ති ලියන ලද චරිතාපදානය දින ප්‍රධාන දේශනය අනුර කුමාර දිසානායකට ලබා දීමට තරම් ඔහු ඔවුන්ට සමීප වී තිබුණි.

නමුත් බලය ලැබුණු පසු මේ අවිශ්වාස කටයුතු ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලන බලවේගයේ ඇත්ත එළිදරව් වීම එකින් එක සිදු විය. ලාල් එය වෙනස් කල හැකි යැයි විශ්වාස කලද එය කිසිදු අයුරකින් සිදු කිරීමට නොහැකි විය.

ලාල් ගේ දේශපාලන මනස අවදි වීම ඒ අවස්ථාවේ සිදු වුවද ඒ වන විට කාලය ගත වී හමාරය. වාමාංශිකයකුටද වඩා ඉහළ මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නකු වූ ලාල් ආණ්ඩුව 22 සම්මත කරමින්, PTA සහ PCOA වැනි බරපතල මර්ධනකාරී නීති ගෙන එමින් ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු කටයුතු සිදු කරන්නේ යැයි කිසිවිටක විශ්වාස නොකරන්නට ඇත.

ලාල් අතිශයින්ම අදේශපාලනික වන්නේත් රැල්ලට අනෙක් අය මෙන්ම රැවටීමට ලක් වන දේශපාලන ළදරුවකු වන්නේත් එහිදීය. පතාක දේශපාලන චරිතයක් රවටා බිමට වැට්ටීමට ජාජබ සමත් විය. තවත් බොහෝ අයට එවැනි ඉරණම් අත් වීමට නියමිතය. ඇතැමුන් දැන් ට්‍රැක් මාරු කිරීමේ අසීරු උත්සහයන් හි නියැලෙති.

තමන්ගේ සියළු පසමිතුරුතා වේදනා ඉවතලමින් තමන්ගේ මරණ වරෙන්තුව පවා ලියා තිබූ දේශපාලන බලවේගයකට සහය දුන් විශාල මිනිසෙකුට තමා රැවටීමකට ලක් වූ බව දැනීම තරම් වේදනාවක් තවත් නොමැත. පසුගිය කාලයේ පැවැති රූපවාහිනී හා වෙනත් සංවාද ගණනාවක් ඔහුට මගහැරීමට සිදු විය. අවසානයේ එක් අදේශපාලනික තෝරා ගැනීමක් ලාල් ගේ වයෝවෘද්ධ නමුත් ශක්තිමත් ජීවිතයේ ශක්තිය විනාශ කරන්නට ඇත.

වාමාංශිකයකුට වඩා ප්‍රජාතන්ත්‍රවාදියකු වූ ලාල් විජේනායක ඔබට සුබ ගමන්.

දුලාන් දසනායක

Social Sharing
අවකාශය පුවත්