
මහනුවර, පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (01) රාත්‍රී 8.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කර ඇත්තේ, අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකු සතු ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත සතියකට පමණ පෙර ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබූ බව වාර්තා වේ.
වෙඩි වැදීමෙන් මියගිය රැඳවියාගේ මෘත දේහය ඊයේ රාත්‍රියේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ පවුලේ ඥාතීන්ද රෝහල වෙත පැමිණ තිබේ.
මියගිය පුද්ගලයා මීට මාස හයකට පමණ පෙර විවාහ වී ඇති අතර, ඔහුගේ බිරිඳ මේ වන විට දෙමසක ගැබිනියක බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
