
කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවලදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඉන්දීය රජය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන අතර, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ගනු ලබන තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බල කළ නොහැකි බවද ඉන්දීය නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමා කිරීම අභියෝගයට ලක්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විභාග වෙමින් පවතී.
ඉන්දීය රජය අධිකරණයට පෙන්වා දී ඇත්තේ, ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන තත්ත්වයක් මතුව ඇති බවයි.
කෙසේ වෙතත්, ඊයේ (06) පැවති නඩු විභාගයේදී 1974 සහ 1976 ගිවිසුම්වල ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු තීන්දුවක් ලබාදී නොමැත.
2008 වසරේ සිට විභාගයට ගනිමින් පවතින මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
