ග්‍රෑම් 100ට අඩු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධනය කෙරේ!

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීම සඳහා නීති සංශෝධනයක් සිදුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත මෙම යෝජිත නීති සංශෝධනයේ අරමුණ වන්නේ, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතුවලදී රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් සැකකරුවන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවන තත්ත්වයට විසඳුමක් ලබාදීමයි.

බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා අවශ්‍ය රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118ක් පැවති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එම තත්ත්වය හේතුවෙන් වාර්තා නිකුත් කිරීමේ කාර්යක්ෂමතාවයට බලපෑම් එල්ල වී තිබූ අතර, මේ වන විට එම පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයන් 70 දෙනෙකු පමණ බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද ඔහු පවසා ඇත.

එමෙන්ම රස පරීක්ෂක වාර්තා සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාත්‍රී 10.00 පමණ වනතෙක් සේවයේ නිරත වන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලට අදාළ රස පරීක්ෂක වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට හැකිවන පරිදි අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

2022 වසරේ ක්‍රියාත්මක කළ නීති ප්‍රතිපාදන අනුව, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත යාමට සිදුවීම හේතුවෙන් ඇප ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

යෝජිත නව නීති සංශෝධනය මඟින්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 100කට අඩු නම්, අදාළ සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට හැකියාව ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්