
ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු 2021 සිට 2025 දක්වා කාලය තුළ ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට එහි නිලධාරීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව එම අධිකාරිය පවසයි.
අධිකාරියේ නීති බලාත්මක කිරීම් සම්බන්ධ අධ්‍යක්ෂිකා නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අවසන් වශයෙන් සමාලෝචනය කිරීම සහ ඒවා දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ප්‍රමාද වන බවද ඇය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, පවතින නිලධාරී හිඟය මධ්‍යයේ වුවද ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරමින් අධිකාරියේ දත්ත පද්ධතිය කාර්තුවෙන් කාර්තුව යාවත්කාලීන කර ඇති බවද ඇය සඳහන් කළාය.
මේ අතර, ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහා නව නිලධාරීන් 109 දෙනෙකු බඳවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවද නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ළමා අපයෝජන සම්බන්ධ තොරතුරු වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අධිකාරිය වෙත ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව ද මේ වසරේදී ඉහළ ගොස් ඇති අතර, ජනවාරි මාසයේ පැමිණිලි 653ක්, පෙබරවාරි මාසයේ 612ක්, මාර්තු මාසයේ 740ක්, අප්‍රේල් මාසයේ 694ක්, මැයි මාසයේ 884ක්, ජුනි මාසයේ 1,022ක් සහ ජූලි මාසයේ 1,102ක් ලැබී තිබේ.
ඒ අනුව, වසරේ මුල් මාස හත තුළ පමණක් ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,707ක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති බව අනාවරණය වේ.
ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, ඒවා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීම් සහ පසු විපරම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොමැති වීම ළමා ආරක්ෂණ පද්ධතිය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවට පත්ව තිබේ.
සටහන ලංකාදීප
