උතුරු හා නැගෙනහිර නිදහස් කළ හැකි ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්!

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඒ සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ජාතික ආරක්ෂාව ඉතා වැදගත් කරුණක් වන අතර, ඒ සඳහා හමුදා කඳවුරු ස්ථාපිත කළ යුතු ස්ථාන තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ගේ කාර්යභාරයක් බවයි.

ඒ අනුව, ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය ඉඩම් මොනවාද සහ නිදහස් කළ හැකි ඉඩම් මොනවාද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී ජනතාවගේ පාර්ශ්වයෙන් හැකිතාක් සලකා බලා, නිදහස් කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

එමෙන්ම, ජනතාව වෙත ඉඩම් ලබාදීමෙන් පමණක් නොනැවතී, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබාගත හැකි නවීන කෘෂි තාක්ෂණය භාවිත කරන ව්‍යාපෘති හඳුන්වාදීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අයිතිවාසිකම් යන කරුණු දෙකම සලකා බලා ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු වූ බවයි.

Social Sharing
නවතම පුවත්