පාස්කු ප්‍රහාර නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම අද!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම අද ආරම්භ කරන බව අධිකරණය දැනුම් දී තිබේ.

පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව, පැමිණිල්ල විසින් ප්‍රබල නඩුවක් ඉදිරිපත් කර ඇති බවට තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තියේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තිවාචක ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අවස්ථාවකදී, විත්තිකරුවන්ට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබාදීමට, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට, සාක්ෂිකරුවන් කැඳවීමට හෝ නිහඬව සිටීමට අවස්ථාව හිමි වේ.

මේ අනුව නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින 24 දෙනාගෙන් නීතිඥ නියෝජනයක් නොමැති හයවන විත්තිකරු වන රිස්කාන් නිහඬව සිටීමට තීරණය කර ඇති අතර, අනෙක් විත්තිකරුවන් 23 දෙනා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමට නියමිත බව අධිකරණයට දැනුම් දී තිබේ.

විත්තිකරුවන් සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා නොදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශ සිදුකරන්නේ නම්, එම ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිල්ලට හරස් ප්‍රශ්න විමසීමේ හැකියාවක් නොමැති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සාක්ෂි ආඥා පනතේ 165 වැනි වගන්තිය යටතේ නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා අධිකරණයට විත්තිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව පවතී.

මේ අතර, ඇතැම් විත්තිකරුවන් තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණයට දැනුම් දී තිබේ. විත්තියේ නඩුව ආරම්භ කිරීමෙන් අනතුරුව එලෙස සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන විත්තිකරුවන් ඔවුන්ගේ සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුදර්ශන ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටී.

පාස්කු ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය 2023 ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ කර තිබූ අතර, දින 250කට ආසන්න කාලයක් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි විමසීම සිදුකර තිබේ.

එහිදී සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදෙමින් සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබූ බව සඳහන් වේ.

ඒ අනුව, වසර ගණනාවක් තිස්සේ විභාග වන පාස්කු ප්‍රහාර නඩුවේ මීළඟ වැදගත් අදියර ලෙස විත්තියේ සාක්ෂි විමසීම හෙට ආරම්භ වීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්