ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වාර්තාව ජිනීවා නුවරට

ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියේදී, එම සම්මුතියට අදාළව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේදී සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙම නිල දූත පිරිසට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා බාලපටබැඳි මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තිළිණි ජයසේකර මහත්මිය ඇතුළත් වේ.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා සෘජු දායකත්වය සපයන සෙසු අමාත්‍යාංශ හා ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සැසියට සහභාගී වීමට නියමිතය.

දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර අමාත්‍ය උපාලි පන්නිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, නව රජය යටතේ පසුගිය මාස 18ක පමණ කාලය තුළ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති අතර, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කර ඇති බවයි.

ඒ අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධ සහිත පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති අතර, ඔහු ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිත්වය දරමින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. තවද, “සංඥා භාෂා පනත” කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද, අධ්‍යාපන, ප්‍රවාහන, නිවාස හා ජල සම්පාදන ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සැසිය හෙට (14 )සහ අනිද්දා (15) යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්