කළලයට හානි වී ඇත්නම් ගබ්සා කිරීමට අවශ්‍ය නීතී සම්පාදනයට ආණ්ඩුව සූදානමක්!

විශේෂඥ වෛද්‍යවරුන් විසින් කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට නිර්දේශ කළහොත් එම මොහොතේ ඇයගේ ගර්භිණීභාවය අවසන් කිරීමට අවශ්‍ය වන නීති සම්පාදනය ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ අතර එතුමා මේ පිළිබඳව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මේ පනතට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද මේ කරුණ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වන දෙයක්. අපි පැහැදිලි කළේ වටේ යෑමක්වත් ක්‍රියාත්මක නොකර සිටින දෙයක්වත් නොවෙයි. නමුත් යමක් සිදු කිරීමේදී ඇමැතිවරුන්ට තනියම කරන්න බැරි දේවල් තිබෙනවා. අපේ රජයට තව වසර හතරහමාරක් තිබෙනවා. මේ වැඩේ කරන්න අපිට තව අවුරුදු හතරහමාරක් යන්නෙ නැහැ. ඒක කිරීමේදී ගතයුතු පියවර තිබෙනවා. ඒවා කරනවා. නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. අප මේක සාර්ථකව කරනවා. මේක කඩිනමින් කරනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සහ තවත් අණ පනත් හැට ගණනක් අධ්‍යයනය කරමින් සිටිනවා. මේවාට ක්‍රමවේද සකස් කළ යුතුයි. නීති කොමිසමට මේක දැම්මා. මේ මාස හතරහමාරේ කරන්න පුළුවන් වුණේ ඒක විතරයි. තව කාලය තිබෙන නිසා එම කාලය ඇතුළේ අපි මේක කළේ නැත්තම් අපිව විවේචනය කරන්න. කරන ක්‍රමවේදය, කරන විදිහයි අපි අවධානය යොමු කළ යුත්තේ.”

Social Sharing
අවකාශය නවතම පුවත්