විදේශ රටවලදී ලිංගික අපයෝජනවලට වරදකරුවන් වූවන්ට මෙරටදීත් දඬුවම් දීමට අවධානය!

විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා විසඳීම මෙන්ම පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද, සංසදය විසින් පත් කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.

එහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිනිය පෙන්වා දී ඇත්තේ විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ අදාළ ආයතන දැනුවත් නොවීම බරපතළ ගැටලුවක් බවයි.

එම තොරතුරු නොමැතිවීම හේතුවෙන් එවැනි පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩකඩ පවතින බවත්, ඒ හරහා ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.

එබැවින් විදේශීය අධිකරණ මඟින් ලබාදෙන මෙවැනි නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති නීතිමය හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.

කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ ආයතන අතර තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේද විධිමත් කිරීමේ සහ පවතින නීතිමය හා ආයතනික පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

Social Sharing
නවතම පුවත්