ජනවාරියේ සිට රස පරීක්ෂක වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට සැලසුම්!

එළැඹෙන ජනවාරි මාසයේ සිට රස පරීක්ෂක වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඒ අනුව, මෙතෙක් ප්‍රමාද වී ඇති සියලුම රස පරීක්ෂක වාර්තා දෙසැම්බර් 31 වැනිදා වන විට නිකුත් කර අවසන් කිරීමට ද දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය සහ ඒ හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති වූ තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියක් මේ වන විට පෙන්නුම් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාතික විගණන කාර්යාලයේ 2025 වසරට අදාළ වාර්තාවට අනුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත විමර්ශන සඳහා ලැබුණු නඩු භාණ්ඩ අතුරින් පරීක්ෂණ අවසන් නොකළ නඩු භාණ්ඩ 43,656ක් ගොඩගැසී තිබී ඇත. ඉන් 5,579ක් 2019 සිට 2023 දක්වා කාලයට අදාළ පැරණි නඩු භාණ්ඩ වේ.

එමෙන්ම, 2025 වසර තුළ විමර්ශන සඳහා නඩු භාණ්ඩ 70,846ක් ලැබී තිබුණ ද රස පරීක්ෂක වාර්තා නිකුත් කර තිබුණේ නඩු භාණ්ඩ 32,769කට පමණක් වන අතර එය සමස්තයෙන් සියයට 46කි.

නොවිසඳී පැවැති නඩු භාණ්ඩවලින් 29,286ක් එනම් සියයට 67ක්ම මත්ද්‍රව්‍ය හා මනෝවර්තක අංශයේ පරීක්ෂණවලට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

මෙම වාර්තා ප්‍රමාදය හේතුවෙන් සැකකරුවන් දිගුකාලීනව රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට සිදුවීමත් සමඟ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් දැඩි තදබදයක් නිර්මාණය වී තිබිණි. එක් සැකකරුවකු නඩත්තු කිරීම සඳහා රජයට දිනකට රුපියල් 1,411ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව ද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා සතියකට දින තුනක් රාත්‍රී 10.15 දක්වා අමතර සේවා කාලයක් ක්‍රියාත්මක කර ඇත.

මාසයකට මත්ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා 7,500ක් නිකුත් කිරීමේ ඉලක්කය ඉක්මවා යමින් පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් වාර්තා 10,088ක් නිකුත් කිරීමට ද දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 36,000 සීමාව දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇත.

මීට අමතරව, දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුමක් ලෙස විද්‍යාත්මක නිලධාරීන් 22 දෙනකු ස්ථිර පදනමින් සහ තවත් 50 දෙනකු කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන තිබේ.

නව රසායනාගාර ස්ථාපිත කිරීම සහ අවශ්‍ය උපකරණ ලබාදීම මඟින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇති අතර, දෙපාර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 60ක ප්‍රතිපාදන ද වෙන් කර තිබේ.

ඒ අනුව, දෙසැම්බර් 31 වැනිදා වන විට සියලුම ප්‍රමාද වූ වාර්තා නිකුත් කර අවසන් කර, 2027 ජනවාරි මාසයේ සිට ලැබෙන නඩු භාණ්ඩවලට අදාළ රස පරීක්ෂක වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වී තිබේ.

Social Sharing
නවතම පුවත්