බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ උප පොලිස් පරීක්ෂකවරයකුට වසර 50ක සිර දඬුවම්!


මව විදේශගතවීම හේතුවෙන් මිත්තණියගේ භාරයේ ජීවත් වූ බාලවයස්කාර දැරියක රවටා නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර අවස්ථා කිහිපයකදී අපයෝජනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ විවාහක උප පොලිස් පරීක්ෂකවරයකුට බරපතළ වැඩ සහිත වසර 50ක සිර දඬුවමක් නියම කිරීමට කුරුණෑගල පූර්වගාමී මහාධිකරණය නියෝග කර තිබේ.

කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර, අදාළ සිර දඬුවම වසර 15කින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට ද නියෝග කර ඇත.

මීට අමතරව වින්දිත තරුණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමටත්, චෝදනා හතර සඳහා වෙන් වෙන්ව රුපියල් 50,000 බැගින් දඩ මුදල් ගෙවීමටත් විත්තිකරුට නියම කර තිබේ.

නඩුවේ කරුණු අනුව, විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා එවකට අදාළ දැරිය පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත. දැරියට අසල්වැසියකුගෙන් සිදුවූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ වගකීම ද ඔහුට පැවරී තිබී ඇත.

එම විමර්ශන කටයුතු සිදුකරන මුවාවෙන් දැරියගේ පියා සමඟ හිතවත්කමක් ගොඩනඟාගත් විත්තිකරු, නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවල පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසී නිවසට පැමිණ ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.

එම කාලය තුළ පාසල් සිසුවියකව සිටි දැරිය ඇසුරු කළ පෙම්වතා සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබී ඇත. එම නඩු කටයුත්තෙන් පෙම්වතා මුදා ගැනීමට නම් තමන් සමඟ ලිංගික සබඳතාවක් පවත්වන ලෙස විත්තිකරු දැරියට බලපෑම් කර ඇති බව ද සාක්ෂි මඟින් හෙළි වී තිබේ.

අවස්ථා කිහිපයකදී ඇයව සිය නිවසට මෙන්ම වෙනත් ප්‍රදේශවල පිහිටි සංචාරක නිකේතන වෙත ද රැගෙන ගොස් ඇති බවත් එම අවස්ථාවන් වල දී මෙම දැරියව මෙලෙස අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත.

දැරිය නිරන්තරයෙන් පාසල් නොපැමිණීම පිළිබඳ සැක සිතූ ඇගේ මිතුරියන් ඒ සම්බන්ධයෙන් පියා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය අනාවරණය වී තිබේ. පසුව අධිකරණ නියෝග මත දැරිය ළමා නිවාසයක රඳවා තැබීමට පියවර ගෙන ඇත.

මේ අතර, විත්තිකරු දුරබැහැර ප්‍රදේශයක පොලිස් ස්ථානයකට මාරුකර යැවීමෙන් පසුව ද දැරියට ලිපියක් යොමු කරමින් ඔහු සමඟ පැවති සබඳතාව පිළිබඳ තොරතුරු පොලීසියට හෝ වෙනත් කිසිවකුට හෙළි නොකරන ලෙස තර්ජනාත්මකව දැනුම් දී ඇති බව ද අධිකරණයේදී හෙළි වී තිබේ.

ඉදිරිපත් වූ සියලු සාක්ෂි සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා හතරම සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම් නියම කර තිබේ.

Social Sharing
නවතම පුවත්