ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නව කම්කරු නීති සඳහා යෝජනා රැසක්!

නව කම්කරු නීති සම්පාදනයේදී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, සමාන රැකියා අවස්ථා තහවුරු කිරීම සහ සේවා ස්ථානවලදී සිදුවන වෙනස්කොට සැලකීම් වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බවට යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම යෝජනා කම්කරු නීති සංශෝධනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 11 වැනිදා නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදීය.

එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් විසින් මෙම අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.

ආබාධිතභාවය මත රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, බඳවා ගැනීම්, උසස්වීම් සහ වෘත්තීය පුහුණු අවස්ථාවලදී වෙනස්කොට සැලකීම මෙන්ම අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම, ආබාධ සහිත සේවකයන්ට සිය රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය සාධාරණ පහසුකම් සැලසීම සේවායෝජකයන්ගේ නීතිමය වගකීමක් බවට පත් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. ඒ යටතේ සේවා ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම, උපකාරක තාක්ෂණය හා උපකරණ ලබාදීම සහ සේවා කාලය හා රාජකාරි ක්‍රමවේද අවශ්‍යතා අනුව සකස් කිරීම ඇතුළත් වේ.

තවද, රාජ්‍ය අංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා පවතින සියයට තුනක රැකියා කෝටාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කර ඇත.

ආබාධ සහිත තැනැත්තන්ට වෘත්තීය අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, රැකියා පුහුණුව සහ රැකියා ගැළපීමේ සේවාවන් සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම මෙන්ම සේවා ස්ථානවල සිදුවන හිංසනය හා හිරිහැර වැළැක්වීම සඳහා ද නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 27 වැනි වගන්තියෙන් පිළිගන්නා වැඩ කිරීමේ හා රැකියා අයිතිය මෙරට කම්කරු නීති පද්ධතිය තුළ ප්‍රායෝගිකව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සකස් කිරීමේදී ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා නියෝජනය විය යුතු බව ද යෝජනා කර තිබේ.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු නීති සම්පාදනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුවේ නිලධාරීහු ද සහභාගි වූහ.

Social Sharing
නවතම පුවත්