කාන්තාවකට පහරදී වධහිංසා කළ පොලිස් කොස්තාපල්වරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා!

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවලින් ඉවත්ව නීත්‍යානුකූලව කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දොම්පේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්ති මහත්මිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ. ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

පෙත්සම්කාරිය අධිකරණයට දන්වා තිබුණේ දුප්පත්කම හේතුවෙන් අතීතයේදී තමන් නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරත වූ බවත්, ඒ සම්බන්ධයෙන් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කිහිපයකට මුහුණදී වරදකරු වූ බවත්ය.

කෙසේ වෙතත් එම නීති විරෝධී කටයුතුවලින් ඉවත්වීමෙන් අනතුරුව කිරි ගොවිතැන, කෘෂිකාර්මික කටයුතු සහ කුකුළු පාලන ව්‍යාපාරයක් මගින් තම ජීවනෝපාය සලසා ගත් බව ඇය සඳහන් කර තිබිණි. ඒ බව තහවුරු කිරීම සඳහා සිය ව්‍යාපාරයට අදාළ ලියාපදිංචි සහතිකයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට අවස්ථා කිහිපයකදීම හිරිහැර කළ බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කළ බවත් ඇය පවසා ඇත.

2019 ඔක්තෝබර් 7 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පැමිණ නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවක් මත තම සැමියා අත්අඩංගුවට ගත් බව ද පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.

පසුව සැමියා බැලීම සඳහා දොම්පේ පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහරදී මානසික වශයෙන් ද පීඩාවට පත් කළ බව ඇය චෝදනා කර ඇත. එම පහරදීමෙන් සිදුවූ බාහිර තුවාලවල ඡායාරූප සහ වෛද්‍ය වාර්තා ද පෙත්සම්කාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර නොතිබූ අතර, ඔහුට නීතිමය කරුණු සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ පහරදීම සිදුවීමට පෙර සිටම පොලිසිය පෙත්සම්කාරියට අඛණ්ඩව හිරිහැර කර තිබූ බවට ඇය ඉදිරිපත් කළ ලේඛන මගින් කරුණු තහවුරු වන බවයි. එසේම ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මගින් ද එම කරුණු තහවුරු වී ඇත.

ඒ අනුව අදාළ සිදුවීමට පෙර සහ පසුව පොලිසිය පෙත්සම්කාරිය සම්බන්ධයෙන් පීඩාකාරී හා ආක්‍රමණශීලී ආකාරයෙන් කටයුතු කර ඇති බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.

මෙම කරුණු සලකා බැලීමේදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා පෙත්සම්කාරිය කෲර වධහිංසාවලට ලක්කර ඇති බව පැහැදිලි වන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති කෲර වධහිංසාවලින් නිදහස්ව සිටීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීන්දු කර ඇත.

 

Social Sharing
නවතම පුවත්