
තමන්ට අයත් වෑන් රථයක් දින 14ක් තිස්සේ තඹලගමුව පොලිසිය තුළ රඳවා තබාගෙන සිටියද, එය අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ නීත්යනුකූල හිමිකරු වන තමන් වෙත නැවත භාරදීමක් සිදු නොකිරීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ළහිරු බණ්ඩාර මහතා පවසයි.
තඹලගමුව පොලිස් වසමේ පදිංචිකරුවකු වන ළහිරු බණ්ඩාර මහතාට අයත් මෙම වෑන් රථය, මොහොමඩ් අසීස් නිල්හානා නම් කාන්තාවකට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට දින දෙකක කාලයක් සඳහා කුලී පදනම මත ලබාදී තිබේ.
කෙසේ වෙතත්, නියමිත කාලය අවසන් වූ පසුවද වෑන් රථය නැවත තමන් වෙත භාර නොදීමත්, එය සඟවා තබා ඇති බවට තොරතුරු ලැබීමත් හේතුවෙන් වාහනයේ හිමිකරු 2026 ඔක්තෝබර් 10 වැනි දින තඹලගමුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 14 වැනි දින අදාළ කාන්තාවගේ පාර්ශ්වය විසින් වෑන් රථය පොලිසිය වෙත ගෙනැවිත් භාරදී තිබේ.
වාර්තා වන අන්දමට, මෙම සිද්ධියට අදාළ සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඇය අධිකරණයට ඉදිරිපත් නොකර එදිනම පොලිස් ඇප මත මුදාහැර තිබේ.
එහෙත්, වාහනයේ හිමිකරු පවසන්නේ වෑන් රථයේ සියලුම ලියාපදිංචි ලේඛන සහ බලපත්ර තම නමට තිබියදීත්, මේ දක්වා වාහනය තමන් වෙත භාරදීමට පොලිසිය කටයුතු කර නොමැති බවයි.
එමෙන්ම, වෑන් රථය පොලිස් භාරයට ගෙන දින 14ක් ගතවී ඇතත්, එය මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් තමන්ට අයත් වාහනය භාවිත කිරීමට නොහැකිව ආර්ථික හා වෙනත් අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇති බව ළහිරු බණ්ඩාර මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ මැදිහත්වීමක් අපේක්ෂා කරමින් ඔහු කන්තලේ මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය
011 266 9100
