
ජනාධිපති සමාව ලබාදී සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනාධිපති සමාව ලබාදීමේ බලය ඇතැම් අවස්ථාවලදී පෞද්ගලික හිතවත්කම් මත තමන්ට සමීප පුද්ගලයන් නිදහස් කර ගැනීම සඳහා භාවිත වන බව පෙන්වා දුන් අමාත්යවරයා, එවැනි ක්රියා ජනාධිපති බලතල අයුතු ලෙස භාවිත කිරීමක් බව සඳහන් කළේය.
ජනාධිපති සමාව ලබාදීමේ බලය ඉවත් කළ යුතු බවට වන අදහස මේ වන විට සාකච්ඡාවට ලක්වෙමින් පවතින බව ද ඔහු පැවසීය.
ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.
වත්මන් රජයට ජනතාව බලය ලබාදී ඇත්තේ රටේ නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් බව පෙන්වා දුන් ලාල් කාන්ත මහතා, කිසිදු පාර්ශ්වයකට නීතියෙන් පිටතට ගොස් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.
ජනාධිපති සමාව ලබාදීමේ බලය සම්බන්ධයෙන් මතුව ඇති මෙම සාකච්ඡාව, නීතියේ සමානාත්මතාව, විධායක ජනාධිපතිවරයාගේ බලතල සහ එම බලතල භාවිත කිරීමේදී පවතින වගවීම පිළිබඳ සංවාදයක් ද මතු කරයි.
