
සැකකරුවෙකුට අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම්, ඒ බව අධිකරණයට දැනුම් දිය යුත්තේ අදාළ සැකකරු විසින්ම මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නොවන බව අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා පෙන්වා දී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ශ්රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළ ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්එෆ් ලොක්කා’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්රාත්වරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මනුෂ්ය ඝාතන විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙන් ප්රශ්න කළ මහෙස්ත්රාත්වරයා, සැකකරුවෙකුට අධිකරණය හමුවේ පාපොච්චාරණයක් කිරීමට අවශ්ය බවට වන දැනුම්දීම ඔහු වෙනුවෙන් CIDය විසින් සිදු කරන්නේ කුමන නීතිමය පදනමක් යටතේදැයි විමසා තිබේ.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියාකලාපය විවේචනය කළ විත්තියේ නීතිඥවරයා, මෙම සිද්ධිය හුදෙක් නාටකයක් බවට පත්ව ඇති බව ප්රකාශ කර ඇත. මෙම අපරාධයට සම්බන්ධ නොමැති බව කියන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු නිලධාරීන් පිරිසක් අනීතිකව අත්අඩංගුවට ගැනීමට CIDය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කර තිබේ.
අදාළ මානසික වෛද්ය වාර්තාව ලැබීමෙන් අනතුරුව, සැකකරුට ස්වයං පාපොච්චාරණයක් සිදු කිරීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කරන බව ප්රධාන මහෙස්ත්රාත්වරයා සඳහන් කර ඇත. එමෙන්ම සැකකරු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.
එස්එෆ් ලොක්කා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකුට විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.
2020 අගෝස්තු 5 වැනිදා අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉරෝන් රණසිංහ හෙවත් එස්එෆ් ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරිණි.
ගිනස් වාර්තා අතරට එක්වූ කරාටේ ශූරයෙකු වන වසන්ත සොයිසා ඝාතනය ඇතුළු අපරාධ නඩු රැසක ප්රධාන සැකකරුවෙකු ලෙසද එස්එෆ් ලොක්කා නම් කර තිබිණි.
