කර්තෘභාග ගාස්තු ක්‍රමවේදය යළි සමාලෝචනයට!

ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) සහ බලපත්‍ර ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, නව ගාස්තු ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය අවසන් වන තෙක් සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සංගමය පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ACPOSL සඳහන් කර ඇත්තේ, පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු අදහස් සහ ප්‍රතිචාර සලකා බැලීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණයට එළඹි බවයි.

මෙම අත්හිටුවීම 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර, අදාළ තාවකාලික අත්හිටුවීම හේතුවෙන් සංගමය සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බව ද ACPOSL අවධාරණය කර තිබේ. පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට හෝ මහජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බව ද එම සංගමය සඳහන් කර ඇත.

තවද, යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සංශෝධනය කිරීම සඳහා සංගීත හා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට සංගමය තීරණය කර තිබේ.

එම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධිත බලපත්‍ර රාමුව 2026 නොවැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇති බව ද ACPOSL වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම තීරණය සංගීත නිර්මාණකරුවන්ට සහ ප්‍රකාශකයන්ට මෙන්ම සංගීතය භාවිත කරන උත්සව සංවිධායකයන්, ව්‍යාපාරිකයන් සහ අනෙකුත් පාර්ශ්වයන්ට ද බලපාන වැදගත් පියවරක් ලෙස සැලකේ.

Social Sharing
නවතම පුවත්