
පොලිසියෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනවලින් සිදුවන බව කියන අසාධාරණයන් සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමුවන පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන්, එහි ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ චෝදනා රැසක් මතුව තිබේ.
පැමිණිලි භාර ගැනීමේදී මැළිකමක් දැක්වීම, විමර්ශනවලදී පොලිසියට පක්ෂපාතීව කටයුතු කළ බවට හැඟීමක් ඇතිවීම සහ දීර්ඝ කාලයක් ගතවීත් පැමිණිලිවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් වින්දිත පාර්ශ්ව කිහිපයක් චෝදනා ඉදිරිපත් කර ඇත.
වින්දිතයන් ඉදිරිපත් කරන කරුණු අනුව, HRC/TRM/48/2026, HRC/TRM/130/2025 සහ HRC/HO/696/2026 යන පැමිණිලි අංකවලට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවලදී ඇතැම් නිලධාරීන් පැමිණිලි භාර ගැනීමට මුලදී මැළිකමක් දැක්වූ බවට වින්දිතයන් පිරිසක් චෝදනා කරති. ඇතැම් අවස්ථාවලදී “ඕක කතා කරලා විසඳගන්න” වැනි ප්‍රකාශ සිදුකරමින් පැමිණිලි භාර ගැනීම මඟහැරීමට උත්සාහ කළ බව ද ඔවුහු පවසති.
පැමිණිල්ලක ස්වභාවය සහ අදාළ නීතිමය කරුණු සලකා බැලීම අවශ්‍ය වුවද, පැමිණිල්ලක් ඉදිරිපත් කරන පුද්ගලයකුට සිය ගැටලුව පැහැදිලි කිරීමට අවස්ථාව ලබාදීමත්, පැමිණිල්ලක් භාරගත නොහැකි නම් ඊට හේතු පැහැදිලි කිරීමත් වැදගත් බව වින්දිත පාර්ශ්ව පෙන්වා දෙයි.
මේ අතර, තඹලගමුව පොලිසිය විසින් තරුණයකුට පහරදීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව කියන HRC/TRM/48/2026 අංක දරන පැමිණිල්ලේ විමර්ශන කටයුතු පිළිබඳව ද චෝදනා එල්ල වී තිබේ.
එම පැමිණිල්ල විමර්ශනය කිරීමේදී කොමිෂන් සභාවේ නිලධාරීන් පොලිසියට පක්ෂපාතී ආකාරයෙන් කටයුතු කළ බවට තමන්ට හැඟුණු බව වින්දිත පාර්ශ්වය පවසයි. “ඔයාට තව නඩු තියනවනේ” වැනි ප්‍රකාශ සිදුකරමින් පැමිණිලිකරු ව්‍යාකූලත්වයට පත්කරන ආකාරයෙන් කටයුතු කළ බවට ද ඔවුහු චෝදනා කරති.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් ලබාගැනීම සහ විමර්ශන ක්‍රියාවලිය ස්වාධීනව සොයා බැලීම අවශ්‍ය වේ.
තවද, HRC/TRM/130/2025 අංක දරන පැමිණිල්ල ඉදිරිපත් කර වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, එහි ප්‍රගතිය පිළිබඳව දැනගැනීමට නොහැකි වූ බවට ද වින්දිත පාර්ශ්වයක් චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
විමර්ශන කටයුතු සඳහා කාලයක් ගතවිය හැකි නමුත්, පැමිණිලිවල වත්මන් තත්ත්වය පිළිබඳව පැමිණිලිකරුවන් දැනුවත් කිරීම සහ ප්‍රමාදයන්ට හේතු පැහැදිලි කිරීම ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීමට වැදගත් වේ.
මේ අතර, HRC/HO/696/2026 අංක දරන පැමිණිල්ල සම්බන්ධයෙන් ද වින්දිත පාර්ශ්වය සිය අසතුට පළ කර තිබේ. ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයෙන් සාධාරණයක් ඉටු නොවූ බවට හැඟීමක් ඇතිවීම හේතුවෙන් විමර්ශන කටයුතු කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත මාරු කරගත් බව එම පාර්ශ්වය පවසයි.
එහෙත්, කොළඹ ප්‍රධාන කාර්යාලය තුළින් ද අපේක්ෂිත සහනය නොලැබුණු බවට හැඟීමක් ඇතිවීම හේතුවෙන් අවසානයේදී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව ද ඔවුහු ප්‍රකාශ කරති.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් වින්දිතයන් ඉදිරිපත් කරන චෝදනා තවදුරටත් තහවුරු කරගැනීමත්, අදාළ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමත් අවශ්‍ය වේ. එමෙන්ම, පැමිණිලි ඉල්ලා අස්කර ගැනීමට වින්දිතයන් පෙළඹවූ හේතු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.
මානව හිමිකම් කොමිෂන් සභාව යනු රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ආරක්ෂක අංශවලින් සිදුවන බව කියන අසාධාරණයන් සම්බන්ධයෙන් පුරවැසියන්ට පැමිණිලි කළ හැකි වැදගත් ආයතනයකි. එබැවින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙවැනි චෝදනා මතුවන විට, ඒවා විනිවිදභාවයෙන් යුතුව විමර්ශනය කර අදාළ පැහැදිලි කිරීම් මහජනතාවට ලබාදීම වැදගත් වේ.
ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය සම්බන්ධයෙන් මතුව ඇති මෙම චෝදනා පමණක් පදනම් කරගෙන කොමිෂන් සභාවේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ නිගමනයකට පැමිණිය නොහැකි වුවද, අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුකිරීමේ අවශ්‍යතාව ඒවා මතුකරයි.
පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනයක් කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම සඳහා, පැමිණිලි භාර ගැනීමේ ක්‍රියාවලිය, විමර්ශනවල ප්‍රගතිය සහ පැමිණිලිකරුවන්ට සලකන ආකාරය පිළිබඳව වගවීම සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිල ප්‍රතිචාරය දැනගැනීම ද මහජන අවධානයට ලක්විය යුතු කරුණකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
