කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් භූමියෙන් අක්කර 187ක් සිවිල් ජනතාවට මුදාහරී.

යාපනය, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අයත්ව තිබූ සහ ආරක්ෂක අංශ විසින් පරිහරණය කරන ලද අක්කර 187.56ක භූමි ප්‍රමාණයක් සිවිල් ජනතාවගේ පරිහරණය සඳහා නිල වශයෙන් මුදාහැර තිබේ.

මෙම භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට මෙතැන් සිට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමි වේ.

වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජේ/233 කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටි මෙම භූමිය 1997 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිත කර තිබේ.

භූමිය මුදාහැරීමට අදාළ ලියකියවිලි පසුගිය සැප්තැම්බර් 30 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී.

පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.එම්. නිස්සංක මහතා විසින් එම ලියකියවිලි යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා වෙත භාරදීම සිදු කළේය.

අක්කර 187.56ක මෙම භූමි ප්‍රමාණය මුදාහැරීම, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම ඉඩම් ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් කන්කසන්තුරේ ප්‍රදේශයට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

එමෙන්ම, යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම තුළින් කන්කසන්තුරේ සහ ඒ අවට ප්‍රදේශවල දිගුකාලීන සංවර්ධන කටයුතු වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත.

Social Sharing
නවතම පුවත්