විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) සංශෝධන: ගැඹුරු ප්‍රශ්නය විසදීමට ප්‍රමාණවත් නොවන සංශෝධනයක් බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පවසයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සංශෝධනය කිරීමේදී ඇප ලබාගැනීමේ ක්‍රියාවලියට සිදුකර ඇති වෙනස්කම් පමණක් ප්‍රමාණවත් නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පවසයි.

2026 අගෝස්තු 24 වැනිදා ගැසට් කර ඇති විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතට (PODDO) අදාළ නව සංශෝධන සම්බන්ධයෙන් අද දින (01) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් එම සංවිධානය මේ බව සඳහන් කර තිබේ.

එකී යෝජිත සංශෝධනයක් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ලබාගැනීම සඳහා අභියාචනාධිකරණයට යා යුතු අවම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 10 සිට ග්‍රෑම් 100 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, බන්ධනාගාර තදබදයට හේතු වී ඇති බව පෙන්වා දෙන PODDO පනතේ 54 වගන්තියේ භාවිතය, පුනරුත්ථාපන ක්‍රියාවලියේ දුර්වලතා, මහාධිකරණයේ ඇප ප්‍රමාදයන් සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වැනි ගැටලු සඳහා යෝජිත සංශෝධන මගින් ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බව එම සංවිධානය අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ බොරු නඩු පැවරීම වැළැක්වීම සඳහා වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් වීඩියෝගත කිරීම හා මත්ද්‍රව්‍ය සාම්පල ඡායාරූපගත කිරීම වැනි යෝජනා ධනාත්මක පියවර ලෙස සලකන බවත්, පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල Body Camera සවි කිරීම වඩාත් පාරදෘශ්‍ය ක්‍රමවේදයක් බවත් එම සංවිධානය සඳහන් කරයි.

මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාරවල 23,000කට වැඩි පිරිසක් සිටින බව පෙන්වා දෙන එම සංවිධානය, මහේස්ත්‍රාත් අධිකරණවලට ඇප ලබාදීමේ බලය පුළුල් කිරීම, රිමාන්ඩ් බන්ධනාගාර තදබදය අවම කිරීම සහ පුනරුත්ථාපනය ඇතුළු විකල්ප අධිකරණ ක්‍රමවේද හඳුන්වාදීම අවශ්‍ය බව ඉල්ලා සිටී.

“ඇප ලබාදීම රීතියක් සහ ඇප නොදීම ව්‍යතිරේකයක්” යන නෛතික මූලධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන පරිදි නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවද එම සංවිධානය අවධාරණය කරයි.

මෙම මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණ කරුණු පහතින් කියවන්න.

මාධ්‍ය නිවේදනය

Social Sharing
නවතම පුවත්