NGO පනත් කෙටුම්පත නැවත සංශෝධනයට; ඇමති සමඟ සාකච්ඡාව සාර්ථකයි!

“රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ නව පනත් කෙටුම්පත” පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා වන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වන ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සමග සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික එකමුතුවේ නියෝජිතයින් අතර බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (31) පැවති සාකච්ඡාව සාර්ථක වූ බව සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික එකමුතුවේ ප්‍රකාශකයෙකු අයිතිය සමග පැවසීය.

මෙම සාකච්ඡාව ආරම්භයේ දී සිවිල් සමාජ නියෝජිතයින් කරුණු දක්වමින් කියා සිටියේ, රජය විසින් ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත සම්බන්ධව මූලධාර්මික ගැටළු ගණනාවක් පවතින බැවින් ඊට කිසිසේත් එකඟ විය නොහැකි බවත්, ඒ සම්බන්ධව අපගේ නිශ්චිත යෝජනා ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම මෙම නව කෙටුම්පත සකස් කිරීම සඳහා සිවිල් සමාජ නියෝජිතයින්ගේ අදහස් ලබා නොගැනීම විශාල ගැටළුවක් බවත් ඔවුන් පෙන්වා දී තිබුණි.

එමෙන්ම, නව කෙටුම්පත අනුව, විෂය භාර ඇමැතිවරයා විසින් පත් කරනු ලබන හා ඔහුට පමණක් වගකියන ‘බලධාරියෙකු’ (Competent Authority) පත් කිරීමත්, එම බලධාරියාට අධිකරණ නියෝගවලින් තොරව ක්‍රියා කිරීමට සුවිශේෂී බලතල නව පනත මගින් ලබා දීමත් තුළින් නිදහස් සිවිල් සමාජ කටයුතු සඳහා ඉන් විශාල බලපෑමක් එල්ල විය හැකි බවත් අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත.

රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ වගකීමක් රජයට ඇති බව පිළිගන්නා නමුත්, රැස්වීමේ, සමාගමේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ගරු කළ යුතු බවත්, නව පනත් කෙටුම්පතේ ඇති සමහර වගන්ති තුළින් එම අයිතිවාසිකම්වලට සෘජුවම බලපෑම් එල්ල වන බවත් නියෝජිත කණ්ඩායම විසින් ඇමතිවරයාට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙම සාකච්ඡාව අවසානයේ දී අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වී ඇති මෙම කෙටුම්පතේ යම් යම් අඩුපාඩු තිබෙන බව පෙනීයන බවත්, ඒ හේතුවෙන් පෙර සැලසුම් කර තිබූ පරිදි මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමටත්, සිවිල් සමාජ නියෝජිතයින් විසින් ලබා දී ඇති යෝජනා ද සැලකිල්ලට ගනිමින් නව කෙටුම්පතක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් පවසා තිබේ. එමෙන්ම නව කෙටුම්පත සකස් කිරීම සඳහා සිවිල් සමාජ නියෝජිත කණ්ඩායමක් ද පත් කරන ලෙසට යෝජනා කර තිබේ.

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ නව රජයට සිවිල් සංවිධාන මර්ධනය කිරීමට හෝ පාලනය කිරීමට කිසිදු උවමනාවක් නොමැති බවත්, ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රාජ්‍ය අංශය පමණක් නොව, පුද්ගලික අංශය හා රාජ්‍ය නොවන අංශයේ ද සැලකිය යුතු ප්‍රතිසංස්කරණයන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ඊට හරස්වන පැරණි නීති සංශෝධනය කිරීම සිදු කෙරෙන බවත්, ඒ අනුව 1980 සම්මත රාජ්‍ය නොවන සංවිධාන පනත ද සංශෝධනයට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කර තිබුණි.

Social Sharing
නවතම පුවත්