22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් අන්තර්ගත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත්ව ඇති සියලු පෙත්සම් සලකා බැලීම අද (01) දින සිට ආරම්භ කෙරේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (31) දිනෙන් අවසන් වූ අතර, ඒ වන විට ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් තිහකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි. මේ සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් සරත් ලාල් පෙරේරා සහ නීතිඥ ජානක අධිකාරි යන මහත්වරුන් විසින් පෙත්සම් 03ක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර, පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය, තරුණ නීතිඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංවිධානය, ජාතික ජන බලවේගය, සර්ව ජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික භික්ෂු පෙරමුණ සහ විනිවිද පදනම ඇතුළු සංවිධාන රැසක් පෙත්සම් ගොනු කර ඇත. ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, සරත් වීරසේකර, උදය ගම්මන්පිල, හර්ෂණ රාජකරුණා මෙන්ම වෛද්‍ය චමල් සංජීව, නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ ලාල් විජේනායක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය රන්ජන් අභයරත්න, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, දුමින්ද නාගමුව, ශිරාල් ලක්තිලක, ආචාර්ය අජන්තා පෙරේරා සහ මිලින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශ්ව රැසක් විසින් සෙසු පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Social Sharing
නවතම පුවත්