
ශ්‍රී ලංකාවට හිමි GSP+ බදු සහනය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) විසින් නිකුත් කළ නවතම ඇගයීම් වාර්තාව මගින් ශ්‍රී ලංකාවට වැදගත් නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ.
යුරෝපා කොමිසම සහ යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිතවරයා විසින් ජූලි 16 වැනිදා නිකුත් කළ 2023–2025 කාලසීමාව ආවරණය කරන GSP ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඒකාබද්ධ වාර්තාවේ ශ්‍රී ලංකාවට අදාළ කරුණු ද ඇතුළත් කර තිබේ.
එහිදී මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රගතියක් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
ඒ අනුව, සමලිංගික සබඳතා අපරාධයක් ලෙස සැලකීම අවසන් කිරීම, ජාතික, ආගමික සහ LGBTIQ+ ප්‍රජාවන් ඇතුළු සියලු පාර්ශ්ව ආරක්ෂා වන පරිදි වෙනස්කම් කිරීමට එරෙහි නීති ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
මරණ දඬුවම සම්බන්ධයෙන් ද පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල කිරීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම ද නිර්දේශ අතරට ඇතුළත් වේ.
එමෙන්ම සිවිල් සමාජ සංවිධානවල කටයුතුවලට අනවශ්‍ය බලපෑම් සිදු නොකිරීම, පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ සහ වධහිංසා වැළැක්වීම, ළමා විවාහ සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ගෘහස්ථ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට එරෙහි නීති ක්‍රියාත්මක කිරීම ද අවධානයට ලක් කර තිබේ.
GSP+ යනු මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සමඟ සම්බන්ධ වූ වෙළඳ සහන ක්‍රමයකි. ශ්‍රී ලංකාව 2017 මැයි 19 වැනිදා සිට මෙම සහනය භුක්ති විඳින අතර, එමගින් යුරෝපා වෙළඳපොළට ශ්‍රී ලංකා අපනයන සඳහා සැලකිය යුතු තීරුබදු සහන ලැබේ.
යුරෝපා සංගමය පවසන්නේ GSP+ සහන ලබන රටවල් අදාළ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කරන ආකාරය අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි. නව GSP නීති යටතේ මෙම අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, බරපතළ හා පද්ධතිමය උල්ලංඝනයන් සිදුවන අවස්ථාවක සහන අත්හිටුවීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ද හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව දැනට පවතින GSP+ චක්‍රය අවසන් වූ පසු නැවතත් මෙම සහනය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන බවත්, GSP+ යටතේ පවතින ප්‍රධාන සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකා පාර්ශ්වය EU සමඟ පැවැති සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබේ.
යුරෝපා සංගමය 2027 ජනවාරි 1 වැනිදා සිට නව GSP ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ යහපාලන ප්‍රගතිය ඉදිරියේදී GSP+ සහනය සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වනු ඇත.
