තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි මස 28 වනදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම ඊයේ දින එනම් ඔක්තෝම්බර් 23 වන දා තීරණය කර ඇත.
විනිසුරුවන් වන සෝභිත රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් මායාදුන්නේ කොරෙයා හා චමත් මොරායස් යන මහත්ම මහත්මීන් හමුවේ මෙම පෙත්සම ඊයේ දිනයේ විභාගයට ගැනීමට නියමිතව තිබිණු අතර එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් පෙත්සම විභාගයට ගැනීමට අසුන් නොගෙනීමේ හේතුවෙන් පෙත්සම වෙනත් දිනයක විභාගයට ගැනීම නියම කෙරිණි.
2008 වසරේ දී කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව මහාධිකරණයේ පැවැත්වෙන එම නඩුව විභාගයට ගැනීම අතුරු තහනම් නියෝගයක් ඉල්ලූ වසන්ත කරන්නාගොඩ මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුන්ට නොතීසි නිකුත් කරන ලෙස මෙන්ම අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමේ ඉල්ලා ඇත.