
මෙම ලිපිය මීට දශක කිහිපයකට පෙර, 1968 වසරේදී අග්‍රගන්‍ය පලස්තීන ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වූ ගසන් කනෆනි විසින් ලියන ලද Resistance literature In Occupied Palestine (බලහත්කාරී ලෙස අත්පත්කරගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය) ලිපියේ සිංහල පරිවර්තනයයි.
ගසන් කනෆනි 1936 වසරේදී පලස්තීනයේ උපත ලැබ, ඊශ්‍රායලය විසින් සැලසුම් කරන ලදැයි සැලකෙන මෝටර් රථ බෝම්බයකට ලක් ව 1972 දී ඝාතනයට ලක් විය. ඔහු විසින් ලියන ලද කෘති අද වන විට ලෝකය පුරා භාෂා 16කට පමණ පරිවර්තනය වී තිබේ.

ඔහුගේ උපත සිදු වූයේ පලස්තීනය සහ මැදපෙරදිග කලාපය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව යටත්විජිත විරෝධී අරගලයක නියැලුණු වකවානුවකය. 1948 මැයි මාසයේදී පලස්තීනයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ විට සයන්වාදීන් (යුදෙව් රාජ්‍යයක් බිහි කිරීම සඳහා වූ ව්‍යාපාරය) 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදුම් සැලසුම මගින් යෝජිත පලස්තීන භූමිය පවා ඈඳා ගනිමින් පලස්තීනය තුළ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම නිසා එයට ප්‍රතිරෝධය දැක්වූ එම කලාපයේ අරාබි රාජ්‍ය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇරඹිණි. මෙය 1949 දක්වාම ඇදී ගිය අතර එය නිමවූයේ පලස්තීනය තුළ ජීවත් වූ අති විශාල අරාබි ප්රජාවකට ඊශ්‍රායල ප්‍රහාර නිසා සිය නිජ බිම අහිමි වීමෙන් සහ ඔවුන් බොහෝ දෙනෙකු රටෙන් පිටුවහල් වීමට සලස්වමිනි. මේ කාලයේදී ගසන් කනෆානිගේ පවුලටද උපන්බිමෙන් පිට වන්නට සිදු විය. එවක ඔහුගේ වයස අවුරුදු දොළහකි. ඔහු සිය පවුල සමග ලෙබනනයේ සරණාගත දිවියක් ගත කර ඉන්පසු සිරියාවට සංක්‍රමණය විය. මෙම ලිපිය මගින් විස්තර කෙරෙන දේශපාලන පසුබිම එයයි.
පසු කලෙක ලේඛකයෙකු බවට පත් වූ ගසන් කනෆනිගේ ජීවිතය සහ දේශපාලනය මුළුමනින් කැප වුණේ නිදහස් පලස්තීනයක් බිහි කිරීමේ පරම අරමුණ වෙනුවෙනි. ඔහු විසින් ලියන ලද කෙටි කතා සහ නවකතාවලින් එය පිළිඹිබු වෙයි. 1948දී සයන්වාදීන් විසින් පලස්තීන බිම් අත්පත් කරගනිමින් පිහිටුවනු ලැබූ ඊශ්‍රායලය, රාජ්‍යයක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ පලස්තීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු මෙම ලිපිය තුළදීද ‘ඊශ්‍රායලය’ හෝ ‘ඊශ්‍රායල්වරුන්’ වැනි යෙදුම් භාවිත නොකරයි. ඒ වෙනුවට ඔහු ‘සයන්වාදීන්’ සහ ඔවුන් විසින් ‘බලහත්කාරී ලෙස අත්පත් කර ගත් පලස්තීන භූමිය’ යන යෙදුම් භාවිත කරයි.
ඔහුගේ මේ ලිපිය එවැනි දේශපාලන පසුබිමක් යටතේ 60 දශකයේ අගභාගය වන විට පලස්තීනය තුළ බිහි වෙමින් තිබූ ප්‍රතිරෝධී සාහිත්‍යයේ- විශේෂයෙන් ප්‍රතිරෝධී කාව්‍යයේ නැගීම- විමර්ශනය කරන්නකි. එහි වැදගත්කම වන්නේ සාහිත්‍යය හුදු සෞන්දර්යවාදයට කොටු නොවිය යුතු බව විශ්වාස කළ ලේඛකයෙකු විසින් කිසියම් සමාජයක ජනයා මුහුණ දෙන පීඩාව සාහිත්‍යය තුළින් පරාවර්තනය වීමේ දේශපාලනය සහ එහි වැදගත්කම විග්රහ කිරීමයි. කනෆනිගේ ලිපිය අද දවසට දක්වන අනෙක් වැදගත්කම වන්නේ, දශක කිහිපයක් තිස්සේ- අද දක්වා මහා මිනිස් සංහාර මැද පුපුරා හැලෙන පලස්තීන- ඊශ්‍රායල අර්බුදය හුදු ‘ආගමික මතවාදී ගැටුමක්’ හෝ ‘ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලය ගෙන යන ප්‍රතිප්‍රහාරයක්’ ලෙස හෝ බටහිර ජනමාධ්‍යවලින් ගෙන යන ප්රබන්ධමය ප්‍රචාරවලට නිසි පිළිතුරක් සැපයීමයි. පලස්තීන ජනයා මුහුණ දෙන ඓතිහාසික දේශපාලන ගැටලුව සමග, පවතින භූ දේශපාලන යථාර්ථයේ සබැඳියාව හෙළි කරන එය පලස්තීනයට එරෙහිව සහ ඊශ්‍රායලයට පක්ෂපාතීව බටහිර අධිරාජ්‍යවාදය විසින් ගොඩ නගන ප්රබන්ධමය ඉතිහාසය මුළුමනින් බැහැර කරයි.
බලහත්කාරී ලෙස අත්පත්කරගත් පලස්තීනයේ ප්‍රතිරෝධී සාහිත්‍යය
![]()
– ගසන් කනෆනි (1968)
1948 වසරේදී සයන්වාදීන් අතට පත් වූ පලස්තීන රාජ්‍යය බිඳ වැටීම නිසා, එම සයන්වාදීන් විසින් බලහත්කාරී ලෙස අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමියේ විසූ අරාබි ජනගහනයට සහ ඔවුන්ගේ සමාජ ව්‍යුහයට බරපතළ විනාශයක් සිදු විය. ඉන්පසු තම නිජභූමියෙහි දිගටම ජීවත් වූ අරාබි ජාතිකයෝ 200000ක් අතරින් හතරෙන් තුනක්ම ගොවීහු / අඳ ගොවීහු වූහ. යුද්ධය අතරතුර හෝ ඉන්පසුව පලස්තීන නගර වැඩි හරියක් ඉවත් කරන ලදී. මෙය එහි සිටි අරාබි සම්භවයක් ඇති ප්‍රජාවගේ සමාජමය තත්ත්ව දරුණු ලෙස විනාශ කිරීමට හේතු විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ දේශපාලන සහ සංස්කෘතික ප්රකාශනයට එම ඉවත් කරන ලද නගර කෙන්ද්‍රස්ථාන වී තිබූ බැවිනි.
සයන්වාදීහු සිය මිලිටරි මෙහෙයුම් නවතා දැමූ පසුව ඔවුන්ගේ පීඩක විධික්රම දියත් කළහ. එහි පරිසරය ඔවුන්ට පහසු කලාපයක් විය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ (පලස්තීනය තුළ) අරාබි අනන්‍යතාව මුලිනුපුටා දමා, නව ප්රවණතාවයේ බීජ කාවැද්දූ විට ඒවා වර්ධනය වී සයන්වාදී දේශපාලනයට සහ සාහිත්‍යයට අනුගත වීමක් වනු ඇතැයි යන්නය.
මේ ඛේදනීය බිඳ වැටීමට කලින් පලස්තීන සාහිත්‍යය එම සියවසේ මුල් භාගයේදී පෝෂණය වූ අරාබි සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ධාරාවේ කොටසක් විය. එය කයිරෝව මුල් කර ගත් මූලාශ්‍ර මත වැඩුණු අතර එවක එම සාහිත්‍ය ව්‍යාපාරයේ මුල් තැන ගත් ඊජිප්තු, සිරියානු සහ ලෙබනන ලේඛකයන්ගේ ආභාසය මත එය පෝෂණය විය. ප්‍රකට පලස්තීන සාහිත්‍යකරුවන් පවා ඔවුන්ව පිළිගෙන ඔවුන්ගේ සාහිත්යික නිෂ්පාදන ඇගයුමට ලක් කළ අරාබි අග නගරවලට ඔවුන්ට ලබා දුන් ප්‍රසිද්ධිය වෙනුවෙන් ණය ගැති වූහ. ඇත්තවශයෙන්ම පලස්තීනය දේශපාලන කරළියෙහි සහ අරාබි ජාතිකවාදී අරගලයේ ප්‍රකට තැනක් අත්පත් කරගෙන සිටින කාලයකදී පලස්තීන සාහිත්‍යයේ අගය කුඩා වී යාමට කාරණා කිහිපයක් ම බලපෑවේය
1948න් පසුව පලස්තීන සාහිත්‍යය නව සාහිත්‍ය ව්‍යාපාරයකට අඩිතාලම දැමීමට සමත් විය. එය වඩා හොඳින් විග්රහ කළ හැක්කේ පලස්තීන හෝ සරණාගත සාහිත්‍යය වෙනුවට පිටුවහලුන්ගේ සාහිත්‍යය ලෙස ගනිමිනි. මෙම සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන අංගය වූ කවිය ගුණාත්මක සහ තාක්ෂණික අංශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබනු දක්නට ලැබිණි. 1948 යුද්ධයෙන් පසු ටික කලක් නිහඬව පැවති එය ඉන්පසු විශාල පිබිදීමකට ලක් විය. ජනතාවගේ ජාතික අනුරාගය පිළිඹිබු කරන ජාතික කාව්‍ය බිහි වන්නට විය. එය අරාබි සහ විදෙස් සාහිත්යික ප්රවණතා සමග ගැටෙමින් ටිකෙන් ටික තාක්ෂණයේ සම්ප්‍රදායික නීති කඩ කරමින්, පැරණි භාවමය පිපිරීම් නොතකා හරිමින් පවතින යථාර්ථයට වඩා අනුරූප වන, ගැඹුරු ශෝකයක් සහිත අනන්‍ය හැඟීමක් සමග නැවත කරළියට පැමිණියේය.
අනෙක් අතට බලහත්කාරී ලෙස අත්පත් කර ගනු ලැබූ පලස්තීනය තුළ බිහි වූ ප්‍රතිරෝධී සාහිත්‍යය මූලධාර්මික වෙනස්කම්වල විසම්මුති සමග ගැටීමකට ලක් කරන ලදී. සයන්වාදීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගනු ලැබූ පලස්තීනයේ අරාබි සාහිත්‍යයේ කොඳුනාරටිය, ලේඛකයන් සහ සංස්කෘතික විද්වතුන්ගේ මුළුමහත් පරම්පරාවක සංක්රමණයෙන් පසු අතුරුදන් විය. පලස්තීනයෙන් වෙනත් රටවලට සංක්‍රමණය නොවූ අය බොහෝ දුරට ගම්බදව ඔවුන්ගේ සමාජයක් තනා ගත් අතර ලෝකයේ කවර ප්රදේශයකවත් නුවූ විරූ ලෙස එම ජන ප්‍රජාව දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතික පීඩාවන්ට බඳුන් විය.
පහත සඳහන් කරුණුවලින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් පලස්තීනය තුළ ජීවත් වූ අරාබි සම්භවයක් ඇති ජනයා මුහුණ දුන් සැබෑ තත්ත්වය පෙන්වයි.
1. ඉතිරි වූ ජනයාගෙන් බහුතරය ඔවුන්ට හිමි වූ සමාජමය තත්ත්වය අනුව ලේඛකයන් සහ කලාකරුවන්ගේ නව පරම්පරාවක් සෑදීමට තරම් සංස්කෘතික සම්මතයක නොසිටියහ.
2. ඉන් පෙර ගම්බද පෙදෙස්වලින් පැමිණෙන දක්ෂ පලස්තීන තරුණ පිරිසට අත දුන් අරාබි නගර ඉන්පසුව සතුරාගේ තහනම් නගර බවට පත් කෙරිණ.
3. පලස්තීන අරාබි ජනගහනය කලාපයේ සෙසු අරාබි රටවලින් සම්පූර්ණයෙන් හුදෙකලා විය.
4. සයන්වාදී මිලිටරිය මගින් එම අරාබි ප්‍රජාව මත අතිශය දරුණු නීති පනවා ඔවුන්ගේ සාහිත්‍ය ප්‍රකාශන වාරණයට ලක් කළේය.
5. සාහිත්‍ය කෘති ප්රකාශනය සහ බෙදා හැරීම අතිශයින්ම සීමා කරන ලදී. එසේත් නැතිනම් තදබල නීති පනවා පවත්වාගෙන යන ලදී.
6. අරාබිවරුන්ට විදෙස් භාෂා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නොතිබිණි. ද්විතීයක අධ්‍යාපනයට පිවිසියේ සුළු පිරිසකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසි කෙනෙකු නැති තරම් විය.
එහෙයින් යළි ඉපදීමට සමත් වූ පලස්තීන සාහිත්‍යය කියවන විට, අරාබි ජනගහණය තම පැවැත්ම තහවුරු කිරීමටත් සිය ප්රකාශනය සඳහාත් මර්දනයේ සහ වධබන්ධනයේ අඳුරු රාත්‍රීන් තුළ අරගල කරමින් සිටින බව සිහියේ තබා ගත යුතු වේ. මේ මොහොත වන විට වේගවත් ලෙස ස්පන්දනය වන ප්‍රතිරෝධී සාහිත්‍යයක් බවට පැහැදිලි ලෙස පත් වීමට ඔවුන්ගේ ස්වකීය ප්රකාශනයට හැකි වී තිබේ.
මෙවැනි තදබල මර්දනකාරී වතාවරණයක් යටතේ ප්‍රතිරෝධයේ පළමු පෙරගමන්කරුවා ලෙස කවිය පත් වීම පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ කවිය මුද්‍රණය කිරීමකින් තොරව මුවින් මුව ප්‍රචාරය කිරීම පහසු නිසාය. මෙමගින් ආරම්භයේදී කවිය, කට පාඩමින් මතක තබා ගැනීමට හැකි සහ ඉක්මනින් හැඟීම්වලට ආමන්ත්‍රණය කරන සම්ප්‍රදායික ආකෘතියට කොටු වීම පැහැදිලි කරයි. පළමුවෙන් පෙම් කවියේ ගුණාංග මූලික කොට ගත් නිර්මාණවල ආගමනයක් සිදුවිය. ඉන්පසුව සම්ප්‍රදායික කාව්‍යයට සමගාමීව ජනප්‍රිය දේශභාෂීය ( vernacular ) කවි ප්‍රතිරෝධී ප්රකාශනයේ පළමු සාරය ලෙස එළි දකින්නට විය. ඇත්ත වශයෙන්ම කියනවා නම් එක්දහස් නමසිය විසි ගණන්වල සිටම මෙකී ජනප්‍රියවාදී කවි පලස්තීන සාහිත්‍යයේ ඉතිහාසය තුළ විශාල භූමිකාවක් ඉටු කළ අතර මුළුමහත් අරාබි ලෝකය පුරාම ඒවා සුපතළ ව තිබිණ. වර්ෂ 1936දී බ්‍රිතාන්‍ය මැන්ඩේටය/බ්‍රිතාන්‍ය භාර දේශය විසින් මරණ දඬුවමට ලක් කළ පලස්තීන අරගලකරුවෙකු ගායනා කළ මෙම ජනප්‍රිය හිටිවන කවිය හැම පලස්තීනුවෙක්ම කට පාඩමින් දනිති.
රාත්‍රිය: සිරකරුට ඔහුගේ ගීය ගයා නිම කරන්නට ඉඩ දෙන්න
හිමිදිරිය වන විට ඔහු පියාපත් ගැටෙනු ඇත
ඔහුගේ සිරුර එල්ලී
සුළඟට වැනෙනු ඇත
රාත්‍රිය : පමා කරනු මැන නුඹේ පියවර
ඉඩ දෙනු වත්කරන්නට නුඹ තුළට මගෙ හදවත
බාගදා නුඹට අමතක ඇති මා ගැන
මගේ දුක්කම්කටොළු ගැන
