
හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතාව ජයගත් ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී සඳහන් කළේ, සාමාන්‍යයෙන් සතුටින් ගුවන් තොටුපොළට පැමිණෙන තමන් අද ඉතා කනගාටුවෙන් ඉන් පිටතට පැමිණි බවයි.
ඊට හේතුව වී ඇත්තේ ඔහු සිය ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම තමන් පැමිණි ගුවන් යානයේදී කැඩී බිඳී යාමයි.
එම හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම ස්විට්සර්ලන්තයේ සුරීච්හිදී මීටර් 92.07ක දුරක් වාර්තා කළ හෙල්ලද ඇතුළත් වනවා.
මෙම හෙල්ල පහ ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියටත්, 2027 ලෝක ශූරතා තරගාවලියට සහ 2028 ඔලිම්පික් තරගාවලියටත් භාවිත කිරීමට රුමේෂ් තරංග සැලසුම් කර තිබුණා. ඉන් අනතුරුව ඒවා සිහිවටන ලෙස තමන් සන්තකයේ තබා ගැනීමටද ඔහු අපේක්ෂා කර තිබෙනවා.
සිදුවූ හානිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් තුර්කි ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
Ultimate සහ Diamond League ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5.10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ TK-730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
උපුටා ගැනීම දිනමිණ
