
රාජ්‍ය සේවයට බඳවා ගන්නා, විශේෂයෙන්ම දරුවන් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා පත්කරනු ලබන පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ වරදකරුවන් නොවන බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව, පොලීසිය හෝ අදාළ බලධාරී ආයතන මගින් මෙම සහතිකය ලබා ගැනීමට නියමිත අතර, දරුවන්ට සෘජු ප්‍රවේශයක් ඇති රාජ්‍ය සේවා තනතුරු සඳහා බඳවා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම සහතිකකරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම, දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් ද තම සේවා කඩයිම් සම්පූර්ණ කිරීමේදී සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් නොවන බවට සහතිකය යාවත්කාලීන කර ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරිය පැවසුවාය.
අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, දරුවන් සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අඛණ්ඩව ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීමේ අවශ්‍යතාව මත මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
“රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාවේදී, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගන්නා පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා නොලද පුද්ගලයන් බව තහවුරු කරගැනීම සඳහා සහතිකකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා,” යනුවෙන් අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටක් ලෙස ඉදිරියට යාමේදී මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
