
ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ‘සරසවි දිරියෝ අභිමන්’ සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරෙන අතර, එක් සිසුවෙකු සඳහා රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.
ඒ අනුව යාපනය, වව්නියාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 76 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න බව සඳහන් වේ.
ප්‍රතිලාභී සිසුන් අසළටම ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීමද මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යාධාර ලබාදීම තුළින් ඔවුන් සමාජයට වටිනා සහ අවශ්‍ය ජන කොටසක් බව තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි.
ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යාපනික අභිලාෂයන්ට ශක්තියක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය වඩාත් සාර්ථක කරගැනීමට අවශ්‍ය සහය ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.
