
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අලුතින් කෙනකු පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එම ධුරයේ කටයුතු කළ පුද්ගලයා රැකියාවෙන් ඉවත්ව ගිය හෝ ස්ථිරව ඉවත් කළ අවස්ථාවක පමණක් බවත් වැඩ තහනමකට ලක්කර එම ධුරයේ සිටි කෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවක අලුතින් බන්ධනාගාර කොමසාරිවරයකු ස්ථිරව පත් කිරීමට නොහැකි බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බන්ධනාගාර අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීම සඳහා කෙනකු පත්කර තිබෙන්නේ මේ නිසා බවද ඒ මහතා කීය. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.
“කලින් සිටි කෙනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව ක්‍රියාමාර්ග ගෙන, ඔහු වැරදිකරුවකු වුවහොත්, ඔහු රැකියාවෙන් ඉවත් කරන තෙක් පුරප්පාඩුවක් නිර්මාණය නොවන බව පදනම් විරහිත චෝදනා කරන පිරිස් මෙය තේරුම්ගත යුතුයි. වැඩ බැලීමට කෙනකු පත් කළාම ඔහුගේ බලතලවල කිසිම අඩුවක් සිදුවන්නේ නැහැ.
අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම මෙම මාසයේ සිට ආරම්භ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තිබෙන පුරප්පාඩු 08ක් පුරවන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ, කියලා චෝදනා කරනවා. මේවා පුරවන්න ගියාම මහාධිකරණවල පුරප්පාඩු ඇති වෙනවා. ඒ නිසා මේක ක්‍රමානුකූලව යට සිට උඩට කරගෙන එන්න ඕනෑ. අපි අලුතින් විනිසුරුවරු බඳවා ගැනීම් කළා. ඒ අය පුහුණු කරලා අධිකරණවලට යොමු කරනවා. මහාධිකරණවල වැඩකටයුතු කඩාකප්පල් කරගෙන මේක කරන්න බැහැ. අගවිනිසුරු ධුරයේ කවුරු හිටියත් නීතිය අනුව නඩු අහලා තමයි තීන්දු දෙන්නේ. නඩු අහලා වැරදි නැත්නම් නිදහස් වෙයි. අපි ඒවට මැදිහත් වෙන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම තමයි අපේ වගකීම. බන්ධනාගාර තදබදය අවුරුදු 15ක් 20ක් තිස්සේ ඉඳලා එන එකක්. අපි බලයට එනකොටත් 29,000ක් විතර මේක ඇතුළේ හිටියා. එතකොටත් ඉන්න පුළුවන් සංඛ්‍යාව 10,000 යි. මෙතැන ගැටලුවක් තිබෙන බව ඒකෙන්ම පේනවා. අපේ රජය මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අල්ලනවා. අත්අඩංගුවට පත්වන පිරිස වැඩියි. තියෙන බන්ධනාගාරවල ඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඒ වගේම අලුතින් ගොඩනැඟිලි කිහිපයක් හදන්නත් සැලසුම් කරලා තියෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගන්න වේගයෙන්ම ගොඩනැඟිලි හදන්න බැහැ. මේක ගොඩනැඟිලි හදලා විතරක්ම බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියන එකත් අපි තේරුම් ගන්න ඕනෑ. රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමත් මේ තදබදය ඇති වීමට ගොඩක් බලපාලා තියෙනවා. මේ ඉන්න 41,000 න් 300,00ක් විතර ඉන්නේ සැකකරුවන්. එයිනුත් 23,000ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවලට අත්අඩංගුවට ගත්ත අයයි. ඒ අය වැඩිහරියක් බන්ධනාගාරවල රඳවා තබාගෙන ඉන්නේ රසපරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසයි. ප්රශ්නය පේන්න තියෙන්නේ හිරගෙදර වුණාට ගැටලුව ඇති වන තැන වෙනස්. අපි එනකොට රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118ක් තිබුණා. දැන් ඒක 50 දෙනකු පමණ අලුතින් බඳවාගෙන රාත්‍රි වැඩමුරයකුත් යොදවලා මේ වාර්තා ලබාගැනීම කඩිනම් කර තිබෙනවා. මේ තුළින් මාසෙකට රසපරීක්ෂක වාර්තා 7,500-9,000 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.“
උපුටා ගැනීම
