
ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වූ ප්රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත යටතේ හිමි බලතල ප්‍රකාරවය.
ඒ අනුව, සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) වෙත කළ දැනුම්දීමක් මත, දිවයිනේ සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට අදාළ වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කර තිබේ.
පනතේ 15, 16 සහ 18 වගන්ති අනුව, වලංගු බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම මෙන්ම එවැනි සේවාවන් ප්‍රවර්ධනය කිරීමද 44 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව රජය අවධාරණය කරයි.
අවහිර කළ වෙබ් අඩවි අතර 1xbet, Betway, 22Bet, Melbet, Unibet, Betfair, Dafabet, Bet365, 1Win සහ Stake ඇතුළු ජාත්‍යන්තරව ප්‍රචලිත සූදු වේදිකා රැසක්ද ඇතුළත් වේ.
නීතිමය රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක වන මෙවැනි අනවසර අන්තර්ජාල සූදු වේදිකාවල මුදල් ආයෝජනය කිරීමෙන් හා ඒවා භාවිත කිරීමෙන් වළකින ලෙස මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ඉදිරියටත් අවශ්‍ය නියාමන පියවර අඛණ්ඩව ගන්නා බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
