නඩු මිලියන 1.1ක ගොඩගැසීම විසඳීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලා යෝජනාවක්!

ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1කට අධික සංඛ්යාවක් විභාගයට අපේක්ෂාවෙන් පවතින බවට අධිකරණ අමාත්යාංශ දත්ත පෙන්වා දෙමින්, එම නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්රී කණ්ඩායම අත්සන් තබා ඇති අතර, එය අද (05) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාර දෙන ලදී.
යෝජනාව මගින් අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්රමාදයට හේතු සොයා බැලීම, එම ගැටලුව අවම කිරීම සඳහා ප්රායෝගික යෝජනා ඉදිරිපත් කිරීම සහ නඩු විභාග කාර්යක්ෂම කිරීම සඳහා අවශ්ය ප්රතිසංස්කරණ නිර්දේශ කිරීම අරමුණු කරගෙන විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බව සඳහන් කර ඇත.
මේ අතර, මෙවැනි තේරීම් කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ විසින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස වෙත ඉදිරිපත් කර තිබූ බවද ජනමාධ්ය වාර්තා කර තිබේ.
Social Sharing
අවකාශය පුවත්