කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. පයාගල, ඇත්තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බවට එම ගම්මානයේ ජනතාව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්කළ විමර්ශනයකින් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. එම ඡන්ද පත්‍රිකා දින 11ක් තිස්සේ තැපැල්කරු සත්තායේ තබාගෙන සිටියදී සොයාගෙන ඇත.
පයාගල, ඇතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ජනතාවට මෙසේ ඡන්ද පත් ලැබී නැති අතර කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද පත්‍රිකා ලැබී ඇත්තේ පෙරේදා (18) උදෑසන බවත් කැමැති අයට තැපැල් කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවත් දන්වා ඇත. ඒ අනුව කිහිප දෙනකු ඡන්ද පත්‍රිකා ලබාගෙන ඇති බව ද ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් මෙසේ පැවැසීය.
එක් තැපැල්කරුවකු සැප්තැම්බර් 3 වැනිදා සිට 14 තෙක් ඡන්ද පත්‍රිකා සන්තකයේ තබාගෙන තිබෙනවා. 14 වැනිදා සවස ලබාදුන් නිසා දින තුනක නිවාඩුවෙන් පසු 17 වැනිදා පයාගල තැපැල් කාර්යාලය වෙත යොමු කළා, තැපැල්පතිගේ නියමයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. තැපැල්කරු සේවයෙන් ඉවත් කිරීමට උපදෙස් ලැබී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ රණසිංහ මහතා මෙසේ කීය. කළුතර තැපැල්කරුවකු එම ඡන්ද පත්‍රිකා ළඟ තබාගෙන සිටි බවට වාර්තා වී තිබෙනවා. ඒ අනුව මූලික විමර්ශනයක් කර වරදකරු සේවයෙන් ඉවත් කිරීමට උපදෙස් දුන්නායැයි කීය.