
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් රචිත ‘ලංකාවේ පෘතුගීසි සිටි යුගය’ නමින් වූ කෘතියක් පසු ගියදා එළිදක්වනු ලැබීය. ළමා රෝග විශේෂඥයෙකු විසින් ඉතිහාසය පිළිබඳව කෘතියක් එළි දැක්වීම පිළිබඳව ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනඥයන්ට පමණක් නොව හුදී ජනයාටද විමතියක් තිබිය හැකිය. නමුත් වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙයට පෙර රචනා කරන ලද ගවේශනාත්මක ඓතිහාසික රචනාවක් වූ ‘ලංකාවේ චීන මෙහෙයුම’ හා ‘Finding Sinhabahu’ යන කෘතීන් කියවා ඇත්තවුන්ට මෙය පුදුමයක් නොව, තවත් වැදගත් ගවේෂණයක් රසවිඳීමේ අවස්ථාවක් බව සහතිකය. එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා රැකියා ප්‍රමුඛතා පිළිබඳව ප්‍රශ්නයක්ද පැනනගී. එනම් ඉහළ දක්ෂතා සහිත සිසුන් විද්‍යා විෂයධාරාවන්ට ඇදී යාම නිසා ලංකාවේ පරිපාලන, කළමනාකරණ, නීති හා ශාස්ත්‍රීය විෂයන් හා වෘත්තියවේදීත්වයට ඇති වී ඇති සෘණාත්මක බලපෑමය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය විෂය පිලිබඳ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ඉතිහාසය විෂයට අනුකූලව මේ කෘතිය ගැන විග්‍රහයක් සිදු කර එය කවර ගණයට අයත් කෘතියක්ද යන්න පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් කළේය. ඔහු ඉතිහාසය ගවේෂණය කරන්නා තම විෂයපථය හා වස්තු බීජය (field) එයට අදාළ කරුණු (facts) එය ඉදිරිපත් කරනා ප්‍රේක්ෂකයා පිළිබඳව අදහසකින් සිය ගවේෂණය කළයුතු බව බටහිර විද්යාර්ථයකුගේ සිද්ධාන්ත ඇසුරෙන් පැහැදිළි කළේය. ඔහු නිතරම ප්‍රශ්න කරන්නේ අතීතය පිලිබඳ අපගේ පිළිගැනීම් කොතරම් ඇත්තක්ද යන්නයි. ඔහුට අනුව 1956 මහා මැතිවරණය පැවති බව සහතික නමුත් දුටුගැමුණු රජු සිටියාද යන්න අවිනිශ්චිත බවය. මෙය බුදුදහමේ එන ක්‍ෂණවාදය නොහොත් වර්තමානය පමණක් යතාර්ථය යැයිද, අතීතය හා අනාගතය මානසික නිර්මාණයක් යන අදහස නූතන යථාර්තවාදීන්ගේ තර්කනයකින් ගෙනහැර දැක්වීමකි.
නමුත් පුරාවිද්‍යාත්මක භෞතික සාධක හා ඒවායේ ජීවමාන සාධක, ඓතිහාසික ලිඛිත රචනා (මහාවංශය වැනි) ජනප්‍රවාද හා වෙනත් සාධක (ග්‍රාමනාම, පුද්ගල නාම ආදී) විසින් ගවේෂකයකුට යම් ඓතිහාසික යථාර්ථයක් ප්‍රබන්ධයක් හෝ මිත්‍යාවකින් තොරව නිර්මාණය කළ හැක. එයින් අමරසිංහයන්ගේ කෘතිය වැටෙන්නේ කතාන්දරයක්, ප්‍රබන්ධයක් හෝ මිත්‍යාවකට (ග්‍රීක දේව කතා වැනි) නොව, යථාර්ථවාදී ගවේෂණයකටයි. දුටුගැමුණු රජතුමා යනු සියස්, වීනස්, ඇපලෝ, හෙලන්, මිනිලවුස්, පැරිස්, ඔඩිසිස් වැනි ප්‍රබන්ධයක් නොව යථාර්ථයකි.
ආචාර්ය කරුණාරත්න පරණවිතානයන් (ඔහු මේ ගවේෂණයට සහාය දුන් අයෙකි.) පෙන්වා දුන්නේ මෙහිදී පෝල් ඊ පීරිස් (1913 – Ceylon and The Portuguese) ෆර්නැම් ද කවිරෝස් (1688 – Conquest of ceylon) වැනි කෘතීන් ගණනාවක්ද, ජීවමාන පුරාවිද්‍යාත්මක දත්ත හා කරුණු ද වෙනත් මූලාශ්රයන් ද මේ කෘතියට පදනම් වී ඇති බවත්ය. විදේශ ආධාරයක් නැතිව ලංකාවේ වර්තමාන ඉතිහාස ශාස්ත්රඥයින් බහුතරයක් මෙවැනි ව්‍යායාමයකට පසුබට වන බවද ප්‍රකාශ කෙරිණි.
මේ කෘතියේ පර්යේෂකයන්ටද, හුදී ජනයාටද වැදගත් අත්පොතක් වන්නේ කාලානුරූපව එකල (1505 – 1594) සිදුවූ යුධ ගැටුම්, ඓතිහාසික සිදුවීම් ආදිය විධිමත්ව පෙළගසා තිබීමය.
මේ කෘතියේ මා තවදුරටත් අගය කරන කරුණක් වන්නේ සීතාවක රාජධානිය හා මායාදුන්නේ රජු හා රාජසිංහ රජු ආදීන් පිළිබඳව වත්මන් සමාජයේ ඇති අවතක්සේරු සහගත මැන බැලීම වෙනස්කර සීතාවක රාජධානිය නම් යුගයක් පැවති බව අවධාරණය කිරීමය (1521 – 1588). එමෙන්ම විමලධර්මසූරිය නොවන්නට සිංහල රාජධානිය මායාදුන්නේගේ මරණයෙන් පසු අවසන් වීමට ඉඩ තිබූ බව කරුණු සහිතව පෙන්වා දීමය.
දෙවැනි වැදගත් කරුණ නම් නාගරීකරණය විසින් ගිලගත් ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය බිහිවීම හා එහි බිඳවැටීම පිළිබඳ කදිම විස්තරයක් මෙහි තිබීමය. මා නාගරික සංවර්ධනය භාරව සිටියදී (2015 – 19) ජයවර්ධනපුර කොටු පවුර හා නටඹුන් රාජධානිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට යම් උත්සාහයක් ගත් අතර එකී රාජධානිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද එය උපකාරී විය. කෝට්ටේ රාජධානියේ නටඹුන් මේ තරමට හෝ රැකී ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති විසින් පරිපාලන නගරය ලෙස සිය නම සහිත ශ්‍රී ජයවර්ධනපුර නව නගර සැලසුම ගෙන ඒම නිසාය.
එමෙන්ම මේ කෘතියේ යාපනයේ ප්‍රාදේශීය පාලනයක් ගෙනගිය සංකිලි හා ඔහුගේ ක්‍රිස්තියානි විරෝධයද, වීදියේ බණ්ඩාරගේ පෘතුගීසි හා ක්‍රිස්තියානි විරෝධී ක්‍රියාවන්ද, රටක දේශීය ජනයා බලහත්කාරයෙන් අන්‍ය ආගමකට හැරවීමේ යුරෝපීය උපායමාර්ගයට එරෙහිව නැගී සිටි හුදකලා අරගල ලෙස මනාව විග්රහ කර ඇත. එමෙන්ම ඉන්දියාවේ මෝගල් හා සුල්තාන් පරපුරුවල ආභාෂය ගෙන වෙළඳාම, රාජ්‍ය තාන්ත්‍රික හා යුදමය උපක්‍රම යොදා ගනිමින් ක්‍රියාකළ මරක්කලවරුන් පිළිබඳව ද මනා විග්‍රහයක් සිදු කර ඇත.
මේ කෘතියේ නාමය “ලංකාවේ පෘතුගීසි සිටි යුගය” යැයි සටහන් කිරීමට හේතුව වන්නේ පෘතුගීසීන් විසින් නිශ්චිතවම ලංකාවේ ගොඩබිම් පාලනයට යොමු වූයේ 1594න් පසුව වීමය. 1505 – 1594 කාලයේදී ඔවුන් උත්සාහ කළේ කොල්ලකෑම, සූරාකෑම, වහල් වෙළඳාම, භාණ්ඩ වෙළඳාම හා කතෝලික ආගම බලහත්කාරයෙන් හා අන් ආකාරයෙන් පතුරුවාලීමය.
නියම පෘතුගීසි යුගය වෙනම වෙළුමක නිර්මාණය වන බව කතුවරයා පැවසීය.
පසුගිය මැයි මාසයේදී මා විසින් නිකුත් කළ “එකට ගැටුම” කෘතියේද සඳහන් කර ඇති පරිදි පෘතුගීසීන් වනාහි කුඩා ජන කණ්ඩායමක් වුවද (කෘතියට අනුව කොළඹ කොටුවේ වාසය කළ පෘතුගීසීන් ගණන තුන්සීයකි). ඔවුන් නාවුක බලයෙන් ආධිපත්‍යය පෙන්වූ, යුධකාමී අධිෂ්ඨානයක් සහිත වාණිජ හා ආගමික මතවාදී අධිෂ්ඨානයක් පවත්වා ගත් ජාතියකි. රාජ්‍ය අල්ලා ගැනීම, තාක්ෂණ දැනුම සූරා ගැනීම ආදියෙන් අධිරාජ්‍යවාදීන් වීමට යුරෝපීයයන්ට මූලික මගපෙන්වූ ජාතිය වූයේ පෘතුගීසීන් ය. එහිදී ඔවුන්ගේ උපක්‍රමය වූයේ ගොඩබිම් අල්ලා ගැනීම නොව විසන්ධිස්ථාන (Choke Points) පාලනයයි. ඔවුන් ගත් මග ගනිමින් ස්පාඥ්ඥ, ප්‍රංශ, නෙදර්ලන්ත, ඉංග්‍රීසි ආදී ජාතීන් රටවල් අල්ලා ගැනීම හා ශීත දේශගුණික රටවල කොළනිකරණය සිදු කර ඇත.
එහෙයින් මේ කෘතිය මුල්කාලීන පෘතුගීසීන්ගේ භූ දේශපාලනික උපායමාර්ගය හා එයට එරෙහිව මායාදුන්නේ, රාජසිංහ හා විමලධර්මසූරිය විසින් එල්ල කරන ලද සංවිධානාත්මක ප්රතිවිරෝධය හඳුනා ගැනීමට උපකාරී වේ.
