පුනරුත්ථාපනයෙන් පසු යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රවණතාව පහළට!


පුනරුත්ථාපනයට යොමු කළ පුද්ගලයින් නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. හමීඩ් මහතා සඳහන් කළේ, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී පුනරුත්ථාපනයෙන් පසු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය 13.74%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, 2025 වසරේදී පුනරුත්ථාපනයෙන් පසු අන්තරායකර ඖෂධ භාවිතයෙන් වැළකී සිටි පුද්ගලයින්ගේ ප්‍රතිශතය 31.4%ක් වූ අතර, 2026 ඔක්තෝබර් 30 වන විට එම ප්‍රතිශතය 45.18%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, පුනරුත්ථාපනයෙන් පසු නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන පුද්ගලයින්ගේ ප්‍රතිශතය ද පහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය. 2025 වසරේදී එම ප්‍රතිශතය 24.5%ක් වූ අතර, 2026 වසරේදී එය 19.21%ක් දක්වා අඩු වී තිබේ.

රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ගෙන් 14%ක් පමණ හෝටල් හා සංචාරක කර්මාන්තයේ නිරත වූවන් බවයි.

ඒ අනුව, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බවත්, ගම්පහ සහ දකුණු පළාතේ එවැනි වැඩසටහන් පවත්වා ඇති බවත් ඔහු පැවසීය.

එහි ඉදිරි වැඩසටහන නොවැම්බර් 9 වැනිදා දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශවල ප්‍රධාන සංචාරක හෝටල්වල සේවක සේවිකාවන් ඉලක්ක කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තවද, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නීතිය මගින් පුනරුත්ථාපනයට යොමු කරන තෙක් බලා නොසිට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා ඉදිරිපත් වන ලෙස ද බ්‍රිගේඩියර් එම්.එස්. හමීඩ් මහතා ඉල්ලීමක් කළේය.

ඒ සඳහා 076 962 7761 යන දුරකථන අංකය ඔස්සේ පුනරුත්ථාපන කාර්යාංශය අමතන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්