ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පැමිණිලි කිරීමට කොළඹ මහ නගර සභාවෙන් QR කේතයක්!


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මහජනතාවට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව QR කේත පද්ධතියක් හඳුන්වා දීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර මේ වන විට වැල්ලවත්තේ සිට මැජෙස්ටික් සිටි ආපනශාලා පරිශ්‍රය දක්වා ක්‍රියාත්මක කර ඇති අතර, ඉදිරියේදී කොළඹ 01 සිට 15 දක්වා සමස්ත නගර සභා බල ප්‍රදේශය තුළම ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව, අදාළ බල ප්‍රදේශයේ අවන්හල්වල QR කේත ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, පාරිභෝගිකයන්ට එම කේතය ස්කෑන් කර ලැබෙන පෝරමය පිරවීමෙන් ආහාරවල ගුණාත්මකභාවය හෝ සුරක්ෂිතතාව සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එම පැමිණිලි සෘජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත යොමු වන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ පැමිණිලිකරුගේ නම හෝ සම්බන්ධතා තොරතුරු අනාවරණය නොකර වුවද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබීමයි. ඒ අනුව පැමිණිලිකරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

එමෙන්ම, ආහාර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී මිලදී ගත් ආහාරය සහ අදාළ බිල්පත සුරක්ෂිතව තමන් සතුව තබා ගන්නා ලෙසත්, පැමිණිලි කිරීමෙන් පසු එම ආහාරය නැවත අවන්හලට භාර නොදෙන ලෙසත් නගර සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විමර්ශන කටයුතු සඳහා එම සාක්ෂි අවශ්‍ය විය හැකි බව ද අවධාරණය කර තිබේ.

මීට අමතරව, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ පැමිණිලි 011 267 6161 යන දුරකථන අංකය හෝ cmchealthcomplaints@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද ඉදිරිපත් කළ හැකිය.

පිරිසිදු හා සුරක්ෂිත ආහාර ලබාගැනීමේ මහජන අයිතිය තහවුරු කිරීම සහ ආහාර අලෙවිසැල්වල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

Social Sharing
නවතම පුවත්