
නිතිපතා තේ පානය කිරීම හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු වීම සමඟ සම්බන්ධ වී ඇති නමුත්, අධික ලෙස උණුසුම් තේ පානය කිරීම එම අවදානම ඉහළ නැංවීමට සම්බන්ධ විය හැකි බව නව අධ්යයනයකින් හෙළි වී තිබේ.
Journal of Internal Medicine සඟරාවේ පළ වූ මෙම අධ්යයනය සඳහා වයස අවුරුදු 30ත් 79ත් අතර චීන ජාතිකයන් 485,000කට වැඩි පිරිසකගේ තේ පානය කිරීමේ පුරුදු අධ්යයනය කර ඇත. තේ පානය කරන වාර ගණන, තේ වර්ගය, සකස් කරන ආකාරය සහ පානය කරන උෂ්ණත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.
වසර නවයක පමණ කාලයක් සිදු කළ නිරීක්ෂණවලට අනුව, සතියකට අවම වශයෙන් දින තුනක්වත් තේ පානය කළ පුද්ගලයන්ට, නිතර තේ පානය නොකළ පුද්ගලයන් සමඟ සැසඳීමේදී හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම සියයට 11කින් පමණ අඩු වී ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත්, අධික ලෙස උණුසුම් තේ පානය කළ පුද්ගලයන් අතර, නිතිපතා තේ පානය නොකළ පිරිසට සාපේක්ෂව හෘද වාහිනී රෝග අවදානම සියයට 16කින් පමණ ඉහළ ගොස් ඇති බව ද අධ්යයනයෙන් පෙන්වා දී තිබේ.
තේ වර්ගය සහ එය සකස් කරන ආකාරය අනුව ද හෘද සෞඛ්යයට ඇති සම්බන්ධතාව වෙනස් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම, කොළ තේ (Green Tea) සමඟ සැසඳීමේදී කළු තේ (Black Tea) විවිධ හෘද රෝග තත්ත්වයන්ට එරෙහිව වඩාත් ස්ථාවර ආරක්ෂාවක් සමඟ සම්බන්ධ වී ඇති බව අධ්යයනයෙන් නිරීක්ෂණය කර ඇත.
මෙම සොයාගැනීම් මඟින් තේ පානය කිරීමේ පුරුදු සහ හෘද සෞඛ්යය අතර සම්බන්ධතාවක් පෙන්නුම් කළද, ඒවායින් තේ පානය සෘජුවම රෝග අවදානම අඩු කරන බව තහවුරු නොවේ. එබැවින් තේ පානය කිරීමේදී අධික උෂ්ණත්වයෙන් වැළකී සිටීම සහ සමබර ජීවන රටාවක් පවත්වා ගැනීම වැදගත් වේ.
