
ශ්රී ලංකාවේ HIV ආසාදන ඉහළ යාමට පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා ඇතුළු අවදානම් හැසිරීම් ප්රධාන වශයෙන් බලපා ඇති බව ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය පවසයි.
වර්තමානයේ HIV ආසාදිත එක් කාන්තාවක් වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු වාර්තා වන ප්රවණතාවක් පවතින බව ඇය සඳහන් කළාය.
අද (14) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ශ්රවණාගාරයේ පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්රකාශ කළාය.
ශ්රී ලංකාවේ HIV ආසාදන 2021 වසර දක්වා පාලනය කර ගැනීම සඳහා සාර්ථක ක්රියාමාර්ග ගෙන තිබුණ ද, කොවිඩ් වසංගතයෙන් පසු එම කටයුතුවලට යම් බලපෑමක් එල්ල වූ බව විශේෂඥ වෛද්යවරිය පෙන්වා දුන්නාය. 2023 වසරේ සිට HIV ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ ප්රවණතාවක් දක්නට ලැබුණු අතර, 2026 වසරේදී ද එම තත්ත්වය අඛණ්ඩව පවතින බව ඇය පැවසුවාය.
ශ්රී ලංකා ලිංගික සෞඛ්ය හා HIV වෛද්ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ (SLCoSHH) සභාපතිනිය වන ඇය සඳහන් කළේ, මෙරට HIV ආසාදන වැඩි වශයෙන් වාර්තා වන්නේ පිරිමින් අතර ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් අතර බවයි. මත්ද්රව්ය එන්නත් කර ගැනීමේදී ආසාදනය වීමේ අවදානම ද පවතින බව ඇය පෙන්වා දුන්නාය.
කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාල භාවිතය ඉහළ යාම, ආර්ථික අර්බුදය, මත්ද්රව්ය භාවිතය සහ මත්ද්රව්ය එන්නත් කර ගන්නා පුද්ගලයන්ගේ සංඛ්යාව ඉහළ යාම ඇතුළු සාධක මෙම තත්ත්වයට බලපා ඇති බව ද ඇය සඳහන් කළාය. මුදල් මත පදනම් වූ ලිංගික සබඳතාවලදී ආරක්ෂිත ක්රමවේද අනුගමනය නොකිරීම ද HIV සහ අනෙකුත් ලිංගාශ්රිත රෝග ව්යාප්තියට හේතුවක් වී තිබේ.
උපදංශ රෝගීන් වාර්ෂිකව 1,500ක් පමණ
HIV ආසාදනවලට අමතරව මෙරට උපදංශ රෝගීන්ගේ සංඛ්යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්යවරිය පැවසුවාය.
2021 වසරට පෙර වසරකට උපදංශ රෝගීන් 80ත් 100ත් අතර සංඛ්යාවක් වාර්තා වූ නමුත්, මේ වනවිට වසරකට රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම, 2026 වසරේදී හෙපටයිටිස් බී රෝගීන් සංඛ්යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2025 වසරේදී හෙපටයිටිස් සී රෝගීන් සංඛ්යාව සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.
කොළඹ දිස්ත්රික්කයෙන් වැඩිම HIV ආසාදිතයන් සංඛ්යාවක් වාර්තා වන අතර, දිවයින පුරා විවිධ වයස් කාණ්ඩවල සහ රැකියා ක්ෂේත්රවල නිරත පුද්ගලයන් අතරින් ද ආසාදිතයන් හඳුනාගන්නා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
HIV වැළැක්වීමේ සහ ප්රතිකාර සේවා නොමිලේ
HIV ආසාදන වැළැක්වීම සහ ආසාදිතයන්ට ප්රතිකාර ලබාදීම සඳහා ශ්රී ලංකාව තුළ නවීන ප්රතිකාර ක්රමවේද පවතින බව ද විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය සඳහන් කළාය.
අතුරු ආබාධ අවම වීම, භාවිත කළ යුතු ඖෂධ ප්රමාණය අඩු වීම සහ නොමිලේ ප්රතිකාර ලබාගැනීමට හැකි වීම එම සේවාවල ප්රධාන වාසි බව ඇය පෙන්වා දුන්නාය.
HIV සහ අනෙකුත් ලිංගාශ්රිත රෝග වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්රියාමාර්ග රැසක් ක්රියාත්මක වුවද, වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඇය අවධාරණය කළාය.
ලිංගික සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර සමුළුව ඔක්තෝබර් 29දා සිට
මේ අතර, ශ්රී ලංකා ලිංගික සෞඛ්ය හා HIV වෛද්ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ 31 වැනි වාර්ෂික අධ්යයන සැසිවාරය සහ සමුළුව ඔක්තෝබර් 29 සිට 31 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
“Bridging to Tomorrow – Advancing Sexual Health and HIV Medicine through Collaboration and Innovation” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව එම විද්යායතනය සහ බ්රිතාන්ය HIV සංගමය එක්ව සංවිධානය කරනු ලබයි.
එහි සමාරම්භක සැසිය ඔක්තෝබර් 29 වැනිදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
