
ශ්‍රී ලංකාවේ දූෂණය වැළැක්වීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තහවුරු කිරීම අරමුණු කරගත් සංශෝධිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊයේ (19) පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති නෛතික හා අර්ථ නිරූපණ ගැටලු මෙන්ම සිංහල හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින අනුකූලතා ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණක් වේ.
එමෙන්ම දූෂණ විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය, කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු සහ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී හඳුනාගෙන ඇති ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමද සංශෝධන මඟින් අපේක්ෂා කරයි.
මෙම සංශෝධන මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයන් සඳහා අවශ්‍ය නෛතික පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම දූෂණ විරෝධී පනත වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හරහා රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලනය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ වී තිබේ.
