පාස්කු ප්‍රහාර විමර්ශනයට වව්නතිව් හමුදා බුද්ධි සටහන් පොත CID භාරයට!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර, මෙම නඩුකරයට අදාළව අසත්‍ය ප්‍රකාශ සිදුකර අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය සිදු කළ ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

තවද, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් වන යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන දෙදෙනා සැප්තැම්බර් 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා නම් කර ඇති අතර, ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදුකරමින් පවතී.

Social Sharing
නවතම පුවත්