
තණමල්විල, නිකවැව දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් වැටලීමෙන් අනතුරුව, සැකකරුට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු, පොලිස් කොස්තාපල් රියදුරෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය පවසයි.
තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත පසුගිය 11 වැනිදා නිකවැව දෙමෝදර වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව අවට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම සැකකරුට අයත් තවත් ගංජා හේන් තුනක්ද සොයාගෙන ඇත.
එහිදී තවත් ගංජා හේනක් කපා ගිනි තබා විනාශ කර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඔහු පවසා ඇත්තේ ඊට පෙර දිනයේදී මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් හයදෙනෙකු පැමිණ ගංජා හේන් සම්බන්ධයෙන් වැටලීමක් සිදුකළ බවත්, තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගත් බවත්ය.
එම නිලධාරීන් ගංජා හේන් පහෙන් එක් හේනක් පමණක් ගිනි තබා විනාශ කර, ඉතිරි ගංජා ප්‍රමාණය රැගෙන ගිය බවද සැකකරු ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර නිකවැව ප්‍රදේශයේ පදිංචි ‘කලු’ නමැති පුද්ගලයෙකුද ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු පැමිණ අදාළ ගංජා තොගය වියළන ලෙස තමන්ට උපදෙස් දුන් බවට ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
අදාළ සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත තණමල්විල පොලිසිය විසින් අදාළ පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
