ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 15% කින් පහළට

“රට හිතන හැටි ” මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජුලි මාසයේදී සැළකිය යුතු මට්ටමකින් 50% දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 15% කින් පහළ යෑමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් වූ බවත් එය මැතිවරණයෙන් පසු ආණ්ඩුවට ලැබුණු වැඩිම ජනතා අනුමැතිය බවත් එම ආයතනය පැවැසුවේය. එසේම මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩු වී ඇති බවත් ආර්ථිකය යහපත් වෙමින් පවතින්නේ යැයි විශ්වාස කරන පිරිස 42% දක්වා අඩු වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පසුගියදා පෙබරවාරි මාසයේදී 64% ක ප්‍රතිශතයක් විශ්වාස කළ බවද එම ආයතනය පෙන්වා දුන්නේය. ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන ප්‍රතිශතය 40% දක්වා සැළකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය පෙබරවාරි මාසයේදී ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ පිරිස 15%ක් වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එසේම ආණ්ඩුව අනුමත නොකරන බව පැවැසූ පිරිසගේ ප්‍රතිශතය 31% දක්වා සැළකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවත් එයට පසුගිය පෙබරවාරි මාසයේදී  15% ක අගයක් ගත් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. නවතම සමීක්ෂණයේදී ජනගහණයෙන් හරි අඩකට වැඩි ප්‍රතිශතයක් එනම් 56% ක් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය දුර්වල යැයි විශ්වාස කරන බව එම ආයතනය ප්‍රකාශ කළේය.

වර්තමාන ආර්ථික තත්වය විශිෂ්ඨ හෝ යහපත් ලෙස විශ්වාස කරන්නේ 38% ක ප්‍රතිශතයක් පමණක් යැයිද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්