මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය!

විෂ මත්ද්‍රව්‍ය උවදුර සමස්ත ආර්ථික හා සමාජ දේහයටම බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම පිළිබඳව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති එම සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන විශාල මුදල් ප්‍රමාණය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමාජ ආචාරධර්මවලටද දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් බියවන සමාජයක් ගොඩනැගීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබේ.

මේ අතර, මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, එම සංශෝධන කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී සඳහන් වී ඇත.

එමෙන්ම, 2007 අංක 54 දරන මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ පනතට අදාළ සංශෝධන කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත. එම වාර්තා ලැබුණු වහාම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අතර විධිමත් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක ‘මිතුරු පාසල’ වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ජාත්‍යන්තර පාසල්වල දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ඉහළ ප්‍රවණතාව සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර තිබේ.

තවද, දෙමාපියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධහල් හරහා ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

මේ අතර, මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම රැස්වීමට සර්ව ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

Social Sharing
නවතම පුවත්