
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, ඒවායේ ක්‍රියාකාරකම් සහ මූලික අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි බලපෑම් ඇති කරන යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත රජය විසින් සම්මත කර ගැනීමට වෙරදරමින් සිටියි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි වීම පිළිබඳ මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) අවශ්‍යතා පෙන්වා දෙමින් ඉහත යෝජිත පනත සාධාරණීකරණය කර ඇත.
ශ්‍රී ලංකාව මේ වසරේ FATF හි අන්‍යෝන්‍ය ඇගයීමකට (Mutual Evaluation) මුහුණ දීමට නියමිත බැවින්, රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පවසමින් යෝජිත පනත කඩිනමින් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇත. නමුත් මෙම පනත මඟින් රාජ්‍ය නොවන සංවිධාන සඳහා විශාල වශයෙන් අහිතකර බලපෑමකට ලක් විය හැකිය.
යෝජිත පනත් කෙටුම්පත අනුව, සියලුම සිවිල් සමාජ සංවිධාන, පදනම් ආයතන, ලාභ නොලබන සංවිධාන, ඇතැම් සමාගම් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවා අනිවාර්යයෙන් මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි විය යුතුය. එහිදී ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සහ මහජන සාමය කඩවන බවට සැලකෙන ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා පුළුල් බලතල නිසි බලධාරියා වෙත පවරා ඇත.
ඒ අනුව යම් ආයතනයක් මෙම පනත යටතේ ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වීම අපරාධමය වරදක් ලෙස සැලකේ. එසේම, නීතියෙන් නියම කර ඇති වාර්තා ඉදිරිපත් නොකිරීම, නිසි පරිදි විගණන කටයුතු සිදු නොකිරීම, ලියාපදිංචි කිරීමේදී හිතාමතා තොරතුරු වසන් කිරීම හෝ නිසි බලධාරියා ඉල්ලා සිටින තොරතුරු ලබා නොදීම ද අපරාධමය වරදක් ලෙස වර්ගීකරණය කර ඇත.
තවද, මෙම පනත යටතේ සිදු කරන ලියාපදිංචිය වලංගු වන්නේ වසර තුනක කාලයක් සඳහා පමණක් වන අතර, එම කාලය අවසන් වූ පසු නැවත ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
මේ අතර, පාර්ලිමේන්තුව විසින් මෑතකදී සම්මත කරන ලද, සිවිල් සමාජය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන නවතම පනත් සංශෝධන තුනක් ද පවතී.
පළමුවෙන්ම, ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ සංශෝධන පනත මඟින්, අධිකරණයේ කිසිදු අනුමැතියකින් තොරව, පොලීසියට සිවිල් සමාජ සංවිධානයක ඉඩම්, දේපළ සහ බැංකු ගිණුම් දින 7 සිට 14 දක්වා තහනම් කිරීමට බලය පවතී. එම දින 14න් පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම තහවුරු කර ගැනීමේ හැකියාවක් පොලීසියට පවතී. මෙහි පවතින වඩාත් ගැටලුකාරී තත්ත්වය නම්, මේ පිළිබඳ කිසිදු දැනුවත්භාවයක් අදාළ සිවිල් සමාජ සංවිධානයට නොපැවතීමයි. එසේම, ඔවුන්ට ඊට විරුද්ධව අභියාචනා කිරීමේ පටිපාටියක් ද නොමැත.
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත මඟින් මූල්‍ය බුද්ධි ඒකකයට ඉතා පුළුල් බලතල ලබා දී ඇත. මෙහිදී කිසිදු පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව තනි තීරණ ගැනීමේ හැකියාවක් ඔවුන්ට පවතී. මූල්‍ය ගනුදෙනු අත්හිටුවීමට, එනම් දායකයන්ගෙන් සිවිල් සමාජ සංවිධාන වෙත ලැබෙන මූල්‍ය ආධාර දින 7 සිට 14 දක්වා තහනම් කිරීමට ඔවුන්ට බලය පවතී. එම දින 14න් පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම තහවුරු කර ගැනීමේ හැකියාවක් ද ඔවුන්ට පවතී.
ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකයට සෑම බැංකුවක්ම සිවිල් සමාජ සංවිධාන හා සම්බන්ධ ගනුදෙනු වාර්තා කළ යුතු වේ. එසේම, රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රතිලාභීන්ගේ තොරතුරු වෙනත් රටක පොලීසියට, බුද්ධි අංශවලට හෝ වෙනත් ආයතනවලට ලබා දීමේ හැකියාව පවතී.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනතට අනුව, යම් සිවිල් සමාජ සංවිධානයක් නීති විරෝධී ක්‍රියාවකින් උපයාගත් මුදල් හෝ දේපළ පරිහරණය කරන බවට සැකයක් ඇති වුවහොත්, එම දේපළ හෝ ගිණුම් තහනම් කිරීමේ බලය රජයට පවතී. එසේම, විදේශීය ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ද රජයට පවතී.
මෙම සංශෝධන පනත් තුනම යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පතට පෙර සිටම සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරීත්වය සීමා කරන නීතිමය පරිසරයක් නිර්මාණය කර ඇත. ඒ අනුව, යෝජිත පනත් කෙටුම්පත සම්මත වුවහොත්, සිවිල් සමාජ සංවිධාන මත පැනවෙන නියාමනය සහ පාලනය තවදුරටත් දැඩි විය හැකි අතර, ඔවුන්ගේ ස්වාධීන ක්‍රියාකාරීත්වයට සහ මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ හැකියාවට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව පැහැදිලි වේ.
