හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට අයත් බව සඳහන් වන ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල සේවකයන් මුහුණ දී සිටින බව කියන අසාධාරණ රැකියා අහිමි කිරීම් සහ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
2026 නොවැම්බර් 16 වැනිදා යොමුකර ඇති ලිපියක් මඟින් එම සංවිධාන පෙන්වා දෙන්නේ ‘සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්’ ආයතනය යටතේ ක්‍රියාත්මක වූ ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල ජනමාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් රැසක් බරපතළ සේවා ගැටලු සහ අසාධාරණකම්වලට මුහුණ දී ඇති බවයි.
සේවකයන්ගේ මාස කිහිපයක වැටුප් නොගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) දායක මුදල් නොගෙවීම, සේවක පාරිතෝෂික මුදල් අහිමි කිරීම මෙන්ම සාධාරණ හේතු දැක්වීමකින් තොරව රැකියාවලින් ඉවත් කිරීම එම ලිපියෙන් පෙන්වා දී ඇති ප්‍රධාන ගැටලු අතර වේ.
එමෙන්ම රැකියා අහිමි කරන ලද සේවකයන්ට තමන් සේවය කළ ආයතන පරිශ්‍රයට ඇතුළුවීම පවා පාලනාධිකාරිය විසින් බලහත්කාරයෙන් වළක්වා ඇති බවට ද එම සංවිධාන චෝදනා කර තිබේ.
අදාළ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේදී කම්කරු දෙපාර්තමේන්තුවට හෝ අදාළ බලධාරීන්ට පූර්ව දැනුම්දීමක් සිදුකර නොමැති බව ද ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් සේවකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද දැඩි ආර්ථික හා සමාජීය අසීරුතාවකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන, අදාළ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටියි.
ඒ අනුව, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඔවුහු කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ජනමාධ්‍ය සංවිධාන කිහිපයක නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
