අතුරුදහන් වූවන්ගේ මුල් ලේඛන එකතු කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නැහැ – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වෙතින් ඔවුන් සතු මුල් ලේඛන එකතු කිරීම සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව එම කාර්යාලය අවධාරණය කරයි.

OMP නියෝජනය කරන බව පවසමින් ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් විසින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වෙතින් මුල් ලේඛන එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බව OMP සඳහන් කරයි. එවැනි ක්‍රියාමාර්ග OMP හි ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටිවලට අනුකූල නොවන බැවින් ඒවා වහාම වැළැක්වීමට කටයුතු කළ යුතු බව එම කාර්යාලය පවසයි.

අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරන ලද පුද්ගලයන් සිටින ස්ථානය සහ ඔවුන්ගේ ඉරණම පිළිබඳ සත්‍යය සොයා ගැනීම ඇතුළුව, අතුරුදහන්වීම් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ස්ථිර ආයතනයක් ලෙස OMP ක්‍රියාත්මක වේ.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 10(1)(ඇ) වගන්තිය අනුව, අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල අයිතිවාසිකම් සහ බැඳීම් ආරක්ෂා කිරීම OMP වෙත පැවරී ඇති වගකීමක් බවද එම කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව, ලේඛනවල සත්‍යතාව, විශ්වාසනීයත්වය සහ අඛණ්ඩතාවට බලපෑම් ඇති කළ හැකි කිසිදු ක්‍රියාමාර්ගයකට OMP අනුමැතිය ලබා දී නොමැති බව මහජනතාවට සහ විශේෂයෙන්ම අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වෙත දැනුම් දී තිබේ.

OMP පැහැදිලි කරන්නේ තම නීත්‍යානුකූල බලතල සහ කාර්යභාරයන් ඉටු කිරීමේදී පවුල් වෙතින් ලබා ගන්නේ උප්පැන්න සහතික, රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ පැමිණිලි සහ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඡායාරූප වැනි වැදගත් ලේඛනවල සහතික කළ පිටපත් හෝ ඡායා පිටපත් පමණක් බවයි.

මුල් ලේඛන වින්දිත පවුල්වල දේපළ වන බැවින් ඒවා පවුල් සතුවම තබා ගත යුතු බවත්, එම ලේඛන පවුල්වල අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා මෙන්ම අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු තහවුරු කරන වැදගත් සාක්ෂි ලෙසද භාවිත කළ හැකි බවත් OMP අවධාරණය කරයි.

මේ අතර, OMP විසින් නව පැමිණිලි සටහන් කර ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බැවින්, නව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට තමන්ට ආසන්නතම OMP කාර්යාලය හා සම්බන්ධ වන ලෙස එම කාර්යාලය දැනුම් දෙයි.

Social Sharing
නවතම පුවත්