වසරකට ළමයින් 10,000කට වැඩි පිරිසක් අනතුරේ: ළමා ආරක්ෂාවට වහාම ක්‍රියාත්මක වන නව ජාතික සැලැස්මක්!

ළමුන් සම්බන්ධ වාර්තාකරණයේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත. ළමුන්ට එරෙහි විවිධ ආකාරයේ අපයෝජන අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

අදාළ මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී අදහස් දක්වමින්, නීතිඥවරියක, සමාජ විද්‍යාඥවරියක සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂවරියක වන ශානිකා මලල්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ, ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ලැබෙන බවයි.

“මෙසේ මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හේතුවන කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට, ළමා අපයෝජනයන් පිළිබඳ පැමිණිලි වාර්තාවී, වර්ෂයකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේකෙදි අපි දකිනවා, විශේෂයෙන්ම, අද වෙනකොට ලිංගික අපයෝජනයට පත්වීම්, එහෙමත් නැත්නම් ළමයින් කෲරත්වයට පත්කිරීම කියන කාරණා පමණක්ම නෙවෙයි, සමහර අවස්ථාවල සමාජයේ අලුත් කාරණා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා සයිබර් අවකාශය තුළ ළමයින් අනාරක්ෂිත භාවයට පත්වීම්, ඒ වගේම යොවුන් ගැබ් ගැනීම, ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය පරිහරණය තුළ ළමයින් අනාරක්ෂිත භාවයට පත්වීම්, එපමණක් නෙමෙයි, සමහර අවස්ථාවල පුද්ගලයන් විදිහට විවිධාකාර නොදැනුවත්වීම් තුළ අපි අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි මේක අවසානයේ බලපාලා තියෙන්නේ ළමයින්ගේ ආරක්ෂාවට. ඒ හින්දා විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශය තුළින් සමස්ත පුරවැසි වගකීම තහවුරු කිරීම තමයි අත්‍යවශ්‍ය වන්නේ.”

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරික දමුණුපොල මහතා ප්‍රකාශ කළේ, අන්තර්ජාලය හරහා ළමුන් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් වාර්තා වෙමින් පවතින බවයි.

“ළමුන් සම්බන්ධ ඉතා සංවේදී අන්තර්ජාලයේ ඩිජිටල් මාධ්‍යයේ සිදුවීම් 53ක් වාර්තා වුණා 2025 වර්ෂය වන විට. ඒ අගය මේ වර්ෂයේ මේ නොවැම්බර් මාසය වන විට 180 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. මෙය ඉතා අති අවධානම් සිදුවීම් අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යයේ ළමුන් සම්බන්ධ සිදුවීම්. එතකොට මේ සිදුවීම් දිහා බලපුවාම ඍජු බලපෑමක් තිබෙනවා මේ සිදුවීම්, ඇත්තම කිව්වොත් සමාජ මාධ්‍යයේ වාර්තා කිරීමත් එක්ක මේ දරුවන් මේ අපරාධයට පත්වීම. අපි දකිනවා මෑතකදී මේ සිදුවීම්වල යම්කිසි වර්ධනයක් දකින්න ලැබෙනවා සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම ආදායම් ඉපයීම් සම්බන්ධ ෆීචර්ස් එහෙමත් නැත්නම් සැකසුම් ක්‍රියාත්මකවීමක් දක්න ලැබීමත් එක්ක. ඉතින් මෙහිදී ළමුන් සම්බන්ධ අන්තර්ගතයන් වැඩි වශයෙන් යොදාගන්න ආකාරයක් දක්න ලැබෙනවා. සමහරවිට දෙමව්පියන් විසින් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණය හින්දා නොදැනුවත්ව ළමයෙක්ට වෙන්න පුළුවන් බලපෑම ඉතාමත් වැඩියි.”

Social Sharing
නවතම පුවත්