ගෝලීය වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් තවදුරටත් පහතට!

ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල ගණන් නැවතත් පහත වැටීමක් නිරූපණය කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 0.59%කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වූ අතර, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.06%කින් අඩුවී ඇමෙරිකානු ඩොලර් 97.31ක් දක්වා පහත වැටුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාවට වෙනස් මඟක් ගනිමින් Murban වර්ගයේ බොරතෙල් මිල 3.42%ක (ඩොලර් 3.28ක) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, පෙර වෙළෙඳ සැසියේ ඩොලර් 95.89ක්ව පැවති එහි බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 99.17ක් ලෙසිනි.

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම් සමනය වනු ඇතැයි වෙළෙඳපොළ තුළ ඇති වූ අපේක්ෂාවන් මෙම බොරතෙල් මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මීට අමතරව, ඉරානය සමඟ පවතින සාකච්ඡා සාර්ථක වන්නේ නම් එරටට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවට ජනාධිපති ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් මැදපෙරදිග කලාපීය යුද අවදානම පහව යනු ඇතැයි බලාපොරොත්තු ඉහළ යාම ද මෙලෙස මිල ගණන් පහත වැටීමට බලපෑ බව විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Social Sharing
පුවත් විදෙස්