
මෑන් පවර් සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවත්, ඍජුවම සේවයේ නිරත වෙමින් තම ශ්‍රමය ලබාදෙන සේවකයා වෙනුවෙන් අතරමැදියකුට මුදල් ගෙවීම රජය පිළි නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෑන් පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කර ගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙන ගිය අරගලය ඉදිරියටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 07 වැනිදා කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
මෑන් පවර් සේවක ක්‍රමය සම්බන්ධයෙන් කම්කරු උපදේශක කාරක සභාවේදී ද යෝජනා ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්ද රජයේ ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි කළේය.
ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල රජයට ණය ලබාගැනීම සඳහා භාවිත කරන අරමුදලක් වෙනුවට සේවකයන්ට වැඩි ප්රතිලාභ ලබාදෙන අරමුදලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
අතීතයේදී එම අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමෙන් නාස්ති කර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා, ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල අවභාවිත කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව අවධාරණය කළේය.
